තාත්තා නැති වුණා, අන්තිමට මගේ අම්මා තීරණය කරනවා ගල් පොළක ගල් කඩන්න යන්න
Tuesday, 07 January 2020 - 15:24 | Views - 750

කැසට් පට, සීඩී පට එක්ක 90 දශකයේ සුන්දර මතකයන් තියෙන කෙනෙක් නම් ඔබත්... අනිවාර්යෙන්ම ඔබ ඔහුව දැන අඳුනගන්න ඇති. සුමිත් හෂේන්ද්‍ර කියන නම ටිකක් නුහුරු වුණත් ඔහු ගායනා කරපු ගීත නම් ඔබට නුහුරක් නැතුව ඇති.
"බොරළු පොළවේ කටාර අව්වේ වේලී..
ගල් මෝලේ... ගල් කඩනා.. අපේ අම්මේ..
ජිවිතයේ පොර බඳිනා අරගලයේ..
ඔබේ දහදිය ගලා යාවී රන් කැටි සේ.."
"රන් මිණිමුතු නොම දුන්නත් අපට ඉස්තරම්..
ඔබේ සෙනෙහස තරම් වටින ඇතිද රත්තරන්
ගුණ ගයන්න ඔබේ නමින් නොමැත මට වදන්
සසර පුරා ඔබයි අම්මේ මගේ රත්තරන්.."
ප්‍රසංග වේදිකාව හැඩ ගන්වපු සේනානයක වේරලියද්ද, චාමර වීරසිංහ සහ දමිත් අසංකට සමාන හඬකින් වෙනස්ම විදිහේ ගීත ගායනා කරපු සුමිත් හෂේන්ද්‍ර මෙවැනි ගීත බොහෝමයකින් අපි අතරට එනවා. ඒ අතරිනුත් "බොරළු පොළවේ" ගීතය තුළින් ඔහු ඔහුටම අනන්‍ය වූ නමක් හදාගන්න සමත් වෙනවා.
සුමිත් හෂේන්ද්‍ර කාලයක් ගායකයෙක් හැටියට දකින්න ලැබුණා. දැන් ඔබේ හැකියාව දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ ඇයි..?
ඒක ඇත්තටම කාලයත් එක්ක සිද්ධ වෙච්ච දෙයක්. අද හුඟක් නවකයෝ බිහිවෙලා ඉන්නවා. නමුත් මගේ හැකියාවත් එක්ක මොකද්දෝ අවාසනාවකට මට දීර්ඝ ගමනක් යන්න හම්බවෙන්නෙ නැහැ. මාත් එක්කම වේදිකාවට ආපු හුඟාක් ගායන ශිල්පීන් අද වෙද්දි හොඳ තැන්වල ඉන්නවා. ඒත් මට ඒ අවස්ථාව ගිලිහුණා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ ඒ කාලය වෙද්දි තිබුණු තරඟකාරීත්වයත් එක්ක දමිත් අසංකට, චාමර වීරසිංහලාට තරම් අනුග්‍රහයක් මට ලැබුණේ නැහැ කියන එක.
දැන් යන රැල්ලට ගහගෙන යන්න ශක්තියක් නැද්ද? ඒක අභියෝගයක් කියලා හිතෙනවද?
මම මගේ නිර්මාණ එදා සහ අදත් කරන්නේ තෝරා බේරගෙන. මගේ හැම ගීතයකම තිබුණේ සමාජය තුළ ගැබ්වෙච්ච, මිනිස්සු විඳිමින් ඉන්න දෙයක්. මගේ බොරළු පොළවේ ඇතුළු ගීත බොහෝමයක් රචනා කරපු නඳුන් රත්නායක අයියා මට නිතරම කියපු දේ, 'මල්ලි මේ සමාජෙට හොඳ දෙයක් කරන්න, ඒක නැතිවෙන්නෙ නැහැ.' මට අද වුණත් හිතෙනවා ඒ දේ ඇත්ත කියලා. මොකද බොරළු පොළවේ ගීතය වුණත් එදා තරම්ම අදත් ජනප්‍රියයි. අද කාලේ රැල්ලට යන්න නම් මගේ අදහසක් නැහැ. මම කොහෙත්ම ඒ රැල්ලට ආස කෙනෙක් නෙවෙයි. දැන් කාලේ ගීත එකට විඳින්න පුළුවන් ඒවාද? අඩුමගානේ පවුලේ ඔක්කොටම එකතු වෙලා රූපරචනාවක්වත් බලන්න පුළුවන්ද? ඉතින් මම ඒ අඳෝනාවලට අකැමැතියි. ඒ රැල්ලට නොගිහින් ඉන්න හිතුවේ ඒ නිසයි.
ඔබ දමිත් අසංකගේ කටහඬ අනුකරණ කළා කියලත් චෝදනා ලැබුවා?
දමිත්ව අනුකරණ කළා කියලා? ඇත්තටම මම ඒක පිළිගන්නේ නැහැ. මට කවදාවත් දමිත්ව චාමරව වෙන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ අයට තිබුණේ ඔවුන්ටම ආවේණික වුණු හඬවල්. මට ඕනි වුණෙත් මගේම වුණු ගීත නිර්මාණය කරලා මටම අනන්‍ය හඬකින් ජනතාව අතරට යන්න. හැබැයි.. මුල්කාලීනව මම වේරලියද්ද මහතාගේ ගීතවලට නම් ප්‍රිය කළා. මම එතුමාගේ ගීත ගැයුවා. නමුත් මම දමිත්ගේ හඬින් ගායනා කරන්න උත්සහ කරලා නෑ. ඔහුට තිබුණේ වෙනම ශෛලීයක්. ඒත් ඇත්තටම දුකයි... සමහර වෙලාවට ප්‍රසංග වේදිකාවේ මගේම ගීතයක් ගායනා කරලා බහිනකොට සමහර අය අහනවා, "අයියේ ඒක දමිත්ගේ සිංදුවක් නේද?" "ඇයි ඔයා දමිත්ගේ සිංදු කියන්නේ?" කියලා. ඒ වගේ හිත්රිදීම් නම් අනන්ත වෙලා ඇති.
සුමිත් හෂේන්ද්‍ර ගායකයෙක් වෙන්නේ?
මුලින්ම මම සංගීත කණ්ඩායමක ගායන ශිල්පියෙක් විදිහටයි කටයුතු කළේ. මොකද්දෝ වාසනාවකට අපේ බෑන්ඩ් එකට ෂා එෆ්එම් සිංදු කාමරේ ප්ලේ කරන්න ලැබුණා. එදා සිංදු කාමරේ නොවෙන්නේ සුමිත් හෂේන්ද්‍ර කෙනෙක් නැතිවෙන්න තිබුණා. ඊටපස්සෙ මගේ හඬ බොහෝ දෙනා අඳුනගත්තා. නඳුන් රත්නායක අයියා මට කැසට් එකකට කතා කරන්නෙ එතනින් පස්සෙ. ඒ තමයි මගේ ගමනේ ආරම්භය. පළවැනි කැසට් පටය සිතකින් නොවේ. ඊළඟට තව කැසට් පට කිහිපයක්ම කළා.
ඔබ ගායනා කරපු "බොරළු පොළවේ" ගීතය අතිශය ජනප්‍රිය වුණා. ආර්ථික ප්‍රශ්න එක්ක හැප්පෙන අම්මා කෙනෙක් ගැන ගායනා කරන ඒ ගීතය නිර්මාණය වෙන්නෙ ඔබේ පුද්ගලික අත්දැකීමක් එක්කද?
අනිවාර්යෙන්ම ඔව්. මම හිතන්නේ හුඟාක් අය ඒ ගැන දන්නේ නැහැ. මගේ රසිකයෝ වුණත්. ඇත්තටම මගේ තාත්තා නැතිවෙන්නෙ මට අවුරුදු 9 වෙද්දි. තාත්තා ටේලරින් රස්සාවක් කළේ. තාත්තා නැතිවුණාම අපිට හැමදේම අහිමි වුණා. ඉතින් අන්තිමට මගේ අම්මා තීරණය කරනවා ගල් පොළක ගල් කඩන්න යන්න. එයා ඒ රැකියාව කරලයි අපිව හදාගත්තේ. කිසිම දුකක් දැනෙන්න දුන්නේ නැහැ අපිට. දුකක් දැණුනත් හිනාවෙලා ඉන්නවා මගේ අම්මා. ඇත්තටම මගේ අම්මා යකඩ ගැහැණියක්. මේ කතාව මම නඳුන් රත්නායක අයියට කිව්වා. එයා තමයි ඒ ගීතය මං වෙනුවෙන් ලියලා දුන්නේ. ඒත් ඒ ඇත්තටම මගේ ගීතය මගේම ජිවිතේ කියලා හුඟ දෙනෙක් දන්නෙ නැහැ. අදටත් මගේ අම්මා නීරෝගී සුවයෙන් ඉන්නවා.
ඔබ ගායකයෙක් විදිහට ජනප්‍රිය වුණත්, එය පවත්වාගෙ යන්න අසමත් වුණා. ඒ නිසාද වෘත්තියක් විදිහට ත්‍රීරෝද රථයක් පදවන්නේ..? ඒ රැකියාව කරන්න ලැජ්ජාවක් හිතිලා නැද්ද?
අනේ නැහැ. කලාව එක්ක මම ජිවත් වුණා. ඇත්තටම මට කලාව අතහරින්න අමාරුයි. තාත්තා කරපු රැකියාවම මට කරන්න පුළුවන් වුණත් ඒකට මනස හදාගන්න අමාරුයි. කලාව නැතිවුණා කියලා මොනා කරන්නද? මම මගේ දරු පැටියවයි බිරිඳවයි ජීවත් කරවන්න එපැයි. ඒ නිසයි මුදලක් හොයාගන්න හිතාගෙන ත්‍රීවීල් එකක් අරන් පාරට බහින්න වුණේ. ලොකු මුදලක් ලැබෙන් නෑ තමයි. ඒත් මම ඒක සතුටින් කරනවා. ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කෙරුවා නම් ලොකු මුදලක් අරන් බහින්න තිබුණා. සමහර වෙලාවට සතුටින්ම නොවුණත්... මම ජීවත් වෙනවා හොඳින්. මගේ දරුවත් බිරිඳවත් අම්මවත් බලාගෙන.
ගායනය වෘත්තියක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් කියලා හිතනවද?
අනේ නැහැ.. මම නම් මගේ දරු පැටියටවත් කලාවට අත තියන්න දෙන්නෙ නැහැ. කලාවත් හරියට දේශපාලනය වගේ. හැකියාවට තැනක් නැහැ. කලාව අද වාණිජකරණය වෙලා. කොටින්ම ගායනය බැරිම කෙනා වුණත් මුදල් වියදම් කරන්න පුළුවන් සල්ලිකාරයෙක් නම් ජනප්‍රිය වෙන්න පුළුවන්.
දුප්පත්කම හොඳට දැනෙන නිසා ලස්සන නිර්මාණ ටිකක් කළොත් නරකද?
ගීත නම් තියනවා. දැනටත් මට ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ විසින් රචනා කරපු ගීත දෙකක් එවලා තියනවා. මම කලින් කිව්වා වගේම ඇත්තටම මම කැමති පවතින දෙයක් කරන්න. ඒ වගේම හුඟක් ගීතවල තියෙන්නෙ මගේම අත්දැකීම්. මම පුංචි කතාවක් කියන්නම්. හැමදාම මම මගේ දරු පැටියයි බිරිඳයි එක්ක කෑම කන්න යන තැන දුප්පත් අම්මා කෙනෙකුයි දරුවෙකුයි ඉන්නවා. මම ඒ අයට කන්න අරන් දෙනවා. ඒ සිදුවීම හරිම සංවේදීයි. ආපහු පල්සර් බයික් එකේ දරු පැටියාව දාගෙන එන ගමන් මම ලස්සන වචන ටිකක් මැව්වා.
"සංසාර ගමනේ තණ්හා ආශා
කොයි යන්නෙදෝ මේ මිනිසා
ඉවසීම නැතිවී.. කරුණාව ගිලිහී
මිනිසා වල්මත් වීලා..."
ගීත නිර්මාණ නැතුවා නෙවෙයි. ඒත්... පවතින නිර්මාණයක් වුණත් අද තියෙන තරඟකාරීත්වය එක්ක එළියට දාන්නේ කොහොමද කියන ගැටලුව තියනවා.
ඉතින් දැන් සමාජ මාධ්‍ය තියනවනේ. යූටියුබ්, ෆේස්බුක් වගේ... අපි දකිනවා අද බොහෝ නිර්මාණ එළියට එන්නෙ ඒ හරහා? ඔබට බැරිවුණාද ඒ පැත්තෙන් එන්න?
මම දන්නවා මට ආදරේ කරන රසික පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම දමිත්, චාමර, සුමිත් කියලා ඒ අය අඬ ගහනකොට සතුටක් ඇතිවෙනවා. මාව ආයෙම පරණ සුමිත් හෂේන්ද්‍ර විදිහට ජනතාව අතරට ගෙනියනවා කියලා හුඟාක් දෙනා මාව හොයාගෙන ඇවිත් අඬ ගහනවා. ඒත්... ඇත්තටම රැල්ලට යන්නෙ නැතුව පවතින දෙයක් කරන්නයි මට ඕනේ. රැල්ලට ගිහින් කලාව විනාශ වෙන විදිහේ නිර්මාණ කරන්න මම කැමති නැහැ. මම අර කිව්වා වගේම පවතින දෙයක් කරන්න පුළුවන්නම් අද හෙටම වුණත් මම ගීතයක් කියනවා. මට ඕනි හොඳ නිර්මාණ තුළින් මගේ රසිකයින් අතරට එන්නයි.
සමිත ලක්ෂාන්
Share This Article