කොටවෙහෙර දැරිය ගැන හිරු කළ අනාවරණයෙන් පසු, පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
Monday, 06 January 2020 - 19:18 | Views - 4,254
හිරු ප්රවෘත්ති මගින් අනාවරණ කළ 13 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළව, නිකවැරටිය සහ කොටවෙහෙර පොලීසිවල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
දැරියට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළව පැමිණිලි භාර නොගැනීමේ චෝදනාව මත මෙලෙස ඔවුන්ගේ සේවය අත්හිට වූ බවයි නිකවැරටිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ ප්‍රකාශ කළේ.
ඒ අනුව, එම ස්ථානාධිපතිවරියන් දෙදෙනා සම්බන්ධයෙන් විධිමත් විනය පරික්ෂණයක් පවත්වා ඉදිරි පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.
මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරියගේ පියා, සුළු මව සහ ග්‍රාම නිලධාරිනියක වන සුළු මවගේ සහෝදරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එමෙන්ම අදාල ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම් කිරිමටයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශය කටයුතු කලේ. පහර කෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
Share This Article