පාතාලයේ කෙරුමෙකු වූ මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ පොලීසියට හෙළි කළ කතාව
Monday, 06 January 2020 - 11:38 | Views - 672

මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් වන්නට සිහින මැවූ මාකඳුරේ මධුෂ් ඩුබායි පොලීසියට හසු වී මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මාස අටක් තිස්සේම සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය.

ඩුබායි රැඳෙමින් මාකදුරේ මධුෂ් මෙරට සිටි ඔහුගේ ගෝලබාලයන් යොදා කළ අපරාධ ප්‍රමාණයද සුළුපටු නොවේ.
 
පොලීසියේ ලොක්කන්ට පවා ඔහු ඩුබායි සිට තර්ජනය කරන තරමට එදා බලවත් වී සිටියේය. ඒ අතර පොලිස්පති පූජිත්ද සිටි බව තහවුරු නොවූ තොරතුරු අනාවරණය කළේය.

ඒ ගැන ලියුම්කරු අවස්ථා කිහිපයකදී පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසුවත් ඔහුගෙන් නිසි පිළිතුරක් ලබාගන්නට හැකි වූයේ නැත
 
මාකඳුරේ මධුෂ් විසින් කරන ලද අපරාධ පිළිබඳ තොරතුරු රැස් කරන්නටත් ඩුබායි සිට ඔහු මෙරටට ගෙන්වා ගැනීමටත් අවශ්‍ය පියවරගන්නට පොලිස් ලොක්කන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පවා එකල පූජිත් ජයසුන්දර මහතා ස්ථාපිත කර තිබිණි.
 
සතිපතා රැස්වෙමින් මධුෂ් ගැන පැය ගණන් එම කමිටුවේ නිලධාරීන් සාකච්ඡා කළත් අවසානයේදී කමිටුවට වූ දෙයක් අදටත් සොයා ගන්නට නැත.
 
පාතාල ලෝකයේ සැඟවුණු චරිතයක් වූ මාකඳුරේ මධුෂ් පාතාල අපරාධකරුවන් අතර වැඩ්ඩෙකු බවට පත් වන්නේ කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරයත් සමඟිනි.
 
2017 වසරේ නොවැම්බර් 27 වැනිදා එල්ල කළ එම ප්‍රහාරයෙන් සමයං නැමැති පාතාලයේ ප්‍රබලයාත් ඔහුගේ ගොලයෝ සිව් දෙනෙක් ද බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක් ද ඝාතනය ලක් වූහ.
 
එම ප්‍රහාරය මාකඳුරේ මධුෂ් විසින් සිය ගෝලබාලයන්ද යොදා එල්ල කරන්නේ ඉන්දියාවේ මේ වන විට සැඟවී සිටින අංගොඩ ලොක්කා නැමැති පාතාලයේ ප්‍රබලයාගේ ඉල්ලීමකට අනුවය. අංගොඩ ලොක්කා ඉන්දියාවට පනින්නේ එම ප්‍රහාරයෙන් පසුවය.
 
මධුෂ් නාමය පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර්වරයකු ලෙස ඉහළට එසවෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට පිළියන්දලදී එල්ල කෙරුණු ප්‍රහාරයත් සමඟිනි.
 
කළුතර ප්‍රහාරයේ උණුසුම පහව යන්නටත් මත්තෙන් එල්ල වුණු එම ප්‍රහාරයෙන් රංගජීවගේ දිවි රැකුණත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සැරයන්වරයෙකුගේත් මහ මඟ සිටි දැරියකගෙත් දිවි අහිමි වන්නේ රංගජීවට තැබූ වෙඩි උණ්ඩවලට ගොදුරු වෙමිනි.
 
විමර්ශනවලින් එකල හෙළි වූ ආකාරයට අනුව එම ප්‍රහාරය සැලසුම් සහගත ව එල්ල වූවකි. ඒ සඳහා මාකඳුරේ මධුෂ් යොදා ගන්නේ රංගජීවගේම ඔත්තුකරුවෙකි. ඒ ඔහු තමා වෙත නම්මාගෙනය. ප්‍රහාරයෙන් පසු එම ඔත්තුකරු බිරිය සහ දරුවන් සමඟ බෝට්ටුවකින් ඉන්දියාවට පැන්නවීමටද මධුෂ් වගබලා ගත්තේය.
 
රංගජීව මරා දැමීමට තරම් මධුෂ්ට එතරම් තදබල හේතුවක් තිබී නැත. රංගජීව මරා දැමීමට ඔහු සැලසුම් කරන්නේ යැයි කියැවෙන්නේ අනියම් බිරියගේ දොළදුකක් සංසිදුවන්නටය. ඇය දිලිණි ඉෂාරා ය. ඇය මහරගම පැත්ත හොල්ලාගෙන සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන කළු තුෂාරගේ විවාහක බිරියය.
 
මධුෂ් ඩුබායි පොලීසියට පසුගිය වසරේ පෙබරවාරි 05 වැනිදා අලුයම කොටුවන්නේද මධුෂ්ට දාව ඇයට උපන් දියණියගේ පළමු උපන්දින සැමරුමේදීය. එදා එකිනෙකා මෙරටට පිටුවහල් කරන විට මධුෂ්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන්නේ ඇයය.
 
මධුෂ් ඩුබායි රටේම තබාගැනීමට ඇය නොගත් වෙහෙසක් නැති තරම්ය. නීතීඥවරුන්ගේ සහාය ලබාගත්තේ කෝටි ගණන් වැය කරමිනි. ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත් වන්නේ පැවැති ආණ්ඩුව මධුෂ් මෙරටට ගෙන්වාගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකව කළ මැදිහත් වීම ඇය විසින් නීතිඥයන් මඟින් කළ බලපෑමට වඩා තීව්‍ර වූ නිසාය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි ගොස් ඉකුත් මැයි මාසයේදී මෙරටට රැගෙන ඒමත් සමඟ මධුෂ්ගේ ව්‍යාපාර බලාකියා ගැනීමේ වගකීම පැවරෙන්නේ දිලිණිටය. මධුෂ් එරට රැඳී සිටියේ ආයෝජන වීසා බලපත්‍රයකිනි. ඒ වෙනුවෙන් ඔහු එරට ගරාජයක් පවත්වාගෙන ගියේය. එම ගරාජය නමට පමණක් පවත්වාගෙන ගිය එකක් මිස ආදායම් ලැබූවක් නොවීය.
 
ඔහු ආදායම් ලැබුවේ මත්කුඩු ජාවාරමෙන් සහ පාතාල ආර්ථික කටයුතුවලිනි. මධුෂ් පොලීසියට කොටු වීමත් සමඟ ඒ සියලු ආදායම් මාර්ග වැසී යන්නේ දිලිණිට තවදුරටත් ඩුබායි රටේ ජීවත්වන්නට නොහැකි තත්ත්වයක් උදා කරමිනි. ඒ වන විට කළුතුෂාරට දාව උපන් ඇගේ වැඩිමහල් දරුවාද සිටියේ ඩුබායිවලය.
 
දහසය හැවිරිදි මේ දරුවාද මධුෂ්ගේ විවාහක බිරිදගේ දරුවාද සිටියේ ඩුබායි හීය. යම් රෝගී තත්ත්වයකින් ජීවත් වූ එම දරුවාට පණ මෙන් මධුෂ් ආදරය කළේය. ඒ දරුවා දහනම වියැතිය. මධුෂ්ට දාව දිලිණිගේ තවත් දියණියක් සිටී.
 
ඇයට ලැබුණු පෙළපත් නාමය වූයේ වර්ණකුලසූරිය නාමයයි. සමරසිංහ ආරච්චිලාගේ නම් වූ මධුෂ්ගේ පෙළපත් නාමය වෙනුවට ඇයට ඇත්තේ වෙනත් පෙළපත් නාමයකි. ඊට මුල් වන්නේ මධුෂ් ඩුබායි රටේ පෙනී සිටියේ අජිත් එරංග වර්ණකුලසූරිය නම් වූ පුද්ගල වේශයකින් වූ බැවිනි. දියණියගේ පෙළපත් නාමයට එම නාමය යොදන්නට සිදු වන්නේ එබැවිනි. ඩුබායි හී ජීවත්වන්නට බැරිම තැන ඇය මේ දරුවන් තිදෙනාද සමග මෙරටට එන්නේ ඉකුත් 29 වැනිදාය.
 
ඒ වන විටත් ඇගේ පැමිණීම කෙරෙහි බුද්ධි අංශ ඇස ගසාගෙන සිටියේය. ඇය පැමිණි ගුවන් යානය අලුයම 5.35ට ගොඩ බස්සවන විටත් ඇය එහි සිටින බව ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ දැන සිටියේය. රේගු සහ ආගමන විගමන අංශවල පරීක්ෂාවලින් පසු ඇය සූදානම් වන්නේ දරුවන් තිදෙනා ද සමඟ ගුවන් තොටුපොළින් පිටතට යන්නටය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ගෙන් ඊට ඉඩක් නොවීය. ඇය සිය භාරයට ගන්නේ දරුවන් තිදෙනාද සමඟිනි.
 
“ඩුබායි වියදම් වැඩියි. ආදායම් මාර්ගයක් නැති නිසා ජීවත්වෙන්න විදිහක් නැහැ. ඒ නිසයි දරුවොත් එක්ක ලංකාවට ආවේ“ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සිය හඬ අවදි කර ඇත්තේ එසේය.
 
රංගජීවට වෙඩි තැබුවේ කවුරුන්දැයි ඒ වන විටත් මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ හෙළි කර තිබිණි. එම ප්‍රහාරය මෙහෙයැවූවේ තමන් විසින් බවද ඔහු කියා ඇතත් සිය අනියම් බිරියගේ දොළදුක සංසිදුවන්නට එම ප්‍රහාරය එල්ල කළ කතාවක් නම් ඔහු එහිදී කියා නැත.
 
ඒ නිසා රංගජීවට එරෙහි ප්‍රහාරය සම්බන්ධයෙන් ඇයට චෝදනාවක් එල්ල කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉඩක් නොවීය. සිදු වන්නේ ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර දරුවන්ද සමඟ මුදා හරින්නටය. එම ප්‍රශ්න කිරීම්වලදී ඇය බොහෝ දේවල් පවසා ඇත. සිය සහෝදරයා ඝාතනය කළ අයගෙන් පළිගන්නා තුරු මධුෂ් කිරිබත් සහ කේක් නොකන බව ඇය කීවාය. මධුෂ්ගේ සහෝදරයා ඝාතනය වන්නේ නාඳුනන පිරිසක් විසින් පැහැරගැනීමකින් අනතුරුවය. ඒ 2009 වර්ෂයේදීය.
 
එකල ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ජනාධිපතිවරයාව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ මධුෂ්ගේ කුමන්ත්‍රණයක්ද එම වකවානුවේදීම එළියට ආවේය. එල්.ටී.ටී.ඊ.යේ සහාය ඇතිව කරන්නට සූදානම් වූ එම ඝාතන සැලසුම ව්‍යවර්ථ වන්නේ කල් තියා බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබුණු බැවිනි.
 
ඒ නිසාම මධුෂ්ට බොහෝ කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ලගින්නට සිදු විය. ඇප මත ඔහුට නිදහසක් ලැබෙන්නේ 2014 වසරේදීය. අජිත් එරංග වර්ණකුලසූරිය නමින් ඔහු ඩුබායි පනින්නේ එම නිදහසත් සමඟිනි.
 
මධුෂ්ට දේශපාලන සම්බන්ධකම්ද බොහෝය. ඒ පක්ෂ විපක්ෂ භේදයකින් තොරවය. ඒ අය අතර පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙක්ද සිටියහ. ඒ එක් ඇමතිවරයෙක් ඩුබායි හීදී මධුෂ් මුණ ගැසුණහ. එදා ඒ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයාට කම්සැප පවා ලබා දෙන්නට මධුෂ් අවශ්‍ය පියවර ගත්තේය. මෙරටට රැගෙන ඒමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී පවා මධුෂ් ඒ බව තහවුරු කළ බව කියැවිණි. ඒගැන අඩුම තරමින් අදටත් එම ඇමතිවරයාගෙන් ප්‍රශ්න කර නැත.
 
මෙතෙක් කල් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන මධුෂ් සුරතල් කිරීමකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මධුෂ්ට දුරකතන පහසුකම් පවා ලබාදී තිබුණු බව කියැවිණි. ඒ බව පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකදී නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සිටි ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රශ්නද කර තිබිණි.
 
ඒත් සමඟම මධුෂ් රඳවා ඇති සිර මැදිරිය පැත්තේ ගැවසෙන්නට අවසරය තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තෝරාගත් නිලධාරීන් කිහිප දෙනෙකුට පමණි. ඒ මධුෂ්ට ජංගම දුරකතනයක් භාවිතා කිරීමට අවස්ථාව ලබාදීම ගැන තොරතුරු එළියට යෑම නිසාය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොවන විශේෂ පොලිස් කණ්ඩායම්වලට පවා මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමට එකල අවසරය හිමිව තිබුණේ සීමිත කාල පරාසයකට පමණි. ඒ පැමිණෙන විශේෂ පොලිස් කණ්ඩායම්වලට කිසිවක් නොපවසන ලෙසටද මධුෂ්ට උපදෙස් ලැබී තිබුණේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන්ගෙන්මය. මධුෂ් විසින් කළ අපරාධ හෙළි කරගෙන ඔහුට එරෙහි සාක්ෂි රැස් කරනවා වෙනුවට මධුෂ්ව එදා ඇතැම් නිලධාරීන් හුරතල් කළේ එසේය. මධුෂ් සම්බන්ධයෙන් වූ විමර්ශන අලුත් කණ්ඩායමක් අතට පත්ව ඇත්තේ ඒ නිසා වන්නට පුළුවනි.
 
ගයාන් කුමාර වීරසිංහ
සිළුමිණ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top