ගුවන් යානා අනතුරෙන් මියගිය ගුවන් විරුවන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද
Monday, 06 January 2020 - 9:52 | Views - 386
හපුතලේ - තම්බපීල්ල මාවත - අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ නායක ගුවන් භට එන්.එල්.ඩී. හෙට්ටිආරච්චිගේ සහ ගුවන් සැරයන් ආර්.ඩබ්ලිව්. කුමාරගේ අවසන් කටයුතු අද (06) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
තිස්සමහාරාම - රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි ගුවන් සැරයන් ආර්.ඩබ්ලිව්. කුමාරගේ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ රෝහණපුර - පොදු සුසානභූමියේදියි.
ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ද ඊයේ (05) රාත්‍රියේ ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.
එමෙන්ම, මාතර - තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි සිටින නායක ගුවන් භට එන්.එල්.ඩී. හෙට්ටිආරච්චිගේ අවසන් කටයුතු පස්වරුවේ සිදු කෙරෙන්නේ පවුලේ පොදු සුසාන භූමියේදීයි.
ඒ, ගුවන් හමුදා උත්තමාචාර මධ්‍යයේයි.
හපුතලේ - තම්බපීල්ල මාවත - අයිස්පීල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ ගුවන් යානයක් පසුගිය සිකුරාදා කඩා වැටුණු අතර එහිදී මියගිය යානයේ ප්‍රධාන ගුවන් නියමු බලඝන නායක බුද්ධි වීබැද්දගේ සහ සහයක ගුවන් නියමු බල පන්ති නායක ලංකාපුර කුලතුංගගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (05) සිදුකෙරුණා.
Share This Article