ඇප මත මුදා හැරුණු රන්ජන්ගේ දුරකථන සංවාද කරළියට
Monday, 06 January 2020 - 8:05 | Views - 471

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ශානි අබේසේකර සහ නිශාන්ත ද සිල්වා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාද පිළිබදව සිංහලේ ජාතික සංවිධානය ඊයේ හෙළිදරව්වක් සිදුකළා.
බස්නාහිර - දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ ඇප මත මුදා හැරුණා.
රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.
එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි මොහුට අතිරේක මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කරනු ලැබුවේ.
රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවස පෙරේදා රාත්‍රියේ බස්නාහිර - දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සෝදිසි කරනු ලැබුවේ අධිකරණය මගින් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැක කෙරෙන තවත් දෘඪ තැටි සහ අසභ්‍ය චිත්‍රපට අඩංගු සංයුක්ත තැටි ගණනාවක් හමුවූ බවයි.
එමෙන්ම, ලැප්ටොප් පරිගණකයක්, පිස්තෝල ගිනි අවියක්, එම සජීවි පතොරොම් 127ක් සහ සැක කටයුතු ලේඛන කිහිපයක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
වලංගු බලපත්‍රයක් නොමැතිව මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 127 ක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ.
මොහුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙන අනෙකුත් දේපළ අතර අසභ්‍ය සී.ඩී. තැටි 32ක්, ලැප්ටොප් පරිගණක 2 ක්, දුරකථන සංවාද ඇතුළත් සී. ඩී තැටි 9 ක්, දෘඩ තැටි කිහිපයක් සහ තවත් සංයුක්ත තැටි 132 ක්, ජංගම දුරකථනයක් සහ සිම් කාඞ්පතක්ද වන බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොලිස් භාරයට ගත් දේපළවල යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය හෝ අපහාසය අවුස්සන ලේඛන හෝ ප්‍රකාශ ඇතුළත්ද යන්නද ශ්‍රී ලංකා රජය කෙරෙහි අනාදරය අවුස්සන හෝ ඇවිස්සවීමට තැත්කරන ලේඛන හෝ ප්‍රකාශන ඇතුළත්ද යන්න පිළිබඳ විමර්ශන සිදුකරන බවයි.
එමෙන්ම, මන්ත්‍රීවරයා විසින් බලපත්‍ර නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවියක් සහ එම අවියට භාවිතා කරන උණ්ඩ සන්තකයේ තබාගෙන සිටීම සහ ගිනි අවිය භාවිතා කර යම්කිසි අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබදව ද බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා.
Share This Article