හපුතලේ ගුවන් අනතුර සිදුවූ ස්ථානයට රස පරීක්ෂක කණ්ඩායමක්
Saturday, 04 January 2020 - 8:20 | Views - 614

හපුතලේ - අයිස්පීල්ල - තම්බපීල්ල ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රස පරීක්ෂක කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙනවා.
එම කණ්ඩායම නියෝජනය කරන උසස් නිලධාරියෙකු සඳහන් කලේ ඊයේ පස්වරුවේ තමන් ඇතුළු කණ්ඩායම එම ස්ථානයට ළඟා වූ බවයි.
මේ අතර, අනතුරෙන් මියගිය ගුවන් හමුදා නිලධාරින් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
ඊයේ පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් අදාල ගුවන් යානයේ නියමුවන් දෙදෙනා සහ තවත් නිලධාරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘත දේහ බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් ඊයේ පෙරවරුවේ හම්බන්තොට - වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා පිටත්ව තිබූ අතර, පෙරවරු 9.15 ට පමණ යානය හපුතලේ අයිස්පීල්ල කඳුකර ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.
අනතුරෙන් යානයේ ගමන් ගත් නිලධාරින් සිව්දෙනාම ජිවිතක්ෂයට පත්වූ අතර, අනතුර සිදුවූ ස්ථානයේ නිවසක සිටි කාන්තාවක් ද කම්පනයට පත්වී හපුතලේ රෝහල වෙත යොමු කෙරුණා.
පසුව ප්‍රතිකාර ලබා ඇය රෝහලෙන් පිටත්ව ගිය බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
බලගන නායකයෙකු, බලපන්ති ලූතිනන් වරයෙකු, ගුවන් සැරයන්වරයෙකු හා නායක ගුවන් භටයෙකු මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය බලගන නායක ඩබ්ලිව්.ඒ.එම්. බී.එන්.බී වීරබැද්ද, මහනුවර - හන්දාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගම්පොල හන්දියාදෙණිය ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලූතිනන් කේ.එම්.ඞී.එල්. කුලතුංග ද, අනතුරින් ජීවිතක්ෂයට පත්වුණා.
එසේම, ගුවන් සැරයන් එස්.ජී.ටී. කුමාර ද අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු තිස්සමහාරාම - සේනපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
නායක ගුවන් භට එන්.එල්.ඩී හෙට්ටිආරච්චිගේ ද මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු මාතර - වෙළඳගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත පත් කළ කමිටු වාර්තාව කඩිනමින් ගුවන් හමුදාපතිවරයා වෙත භාරදීමට නියමිත බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ අතර, මියගිය ගුවන් හමුදා සෙබලූන්ගේ මෘත දේහයන් අද ඥාතීන්ට භාරදීමට නියමිතයි.
Share This Article