රටේ ස්ථාවරත්වය සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යාවශ්‍යයි - ජනපති රාජාසන කතාවේදී කියයි - 7, 8 පාර්ලිමේන්තු විවාදයක්
Friday, 03 January 2020 - 21:00 | Views - 425

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා.
මෙවර පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේදී විශේෂත්වයක් වූයේ මීට පෙර සිදුවූ හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහකයන් පෙරටු කර ගත් රථ පෙළපාලි නොපැවැත්වීමයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම ආර්යාව පාර්ලිමේන්තු සංකීර්ණයට ප්‍රවිශ්ඨ වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගත් අතර, අනතුරුව ජය මංගල ගාථා ගායනා කිරීම සිදුවුණා.
සෙංකෝලය රැගත් නියෝජ්‍ය වේත්‍රධාරියා සහ වේත්‍රධාරීවරයා පෙරටු කර ගනිමින් කථානායකවරයා සමඟ රතු පලස මතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිවිසියේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආචාර කරමින්.
සභාවට ප්‍රවේශ වූ ජනාධිපතිවරයා සම්ප්‍රදායානුකූලව සිය රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීමේ රාජාසන කතාව සඳහා කථානායක අසුනේ අසුන් ගත්තා.
පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කිරීමේ නිවේදනය සහ සැසිවාරය යළි ආරම්භ කිරීම පිළිබද නිවේදනය කිරීම සිදුවූයේ ඉන් පසුවයි.
මෙම කටයුතු අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 8 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසිවාරය ආරම්භ කරමින් සිය රාජාසන කතාව ආරම්භ කළා.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ලබන 07 සහ 08 යන දෙදින තුළ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පළව තිබෙනවා.
ඒ අනුව, එම දෙදින තුළ දහවල් 01 සිට පස්වරු 6.30 දක්වාත් මෙම විවාදය පැවැත්වෙනු ඇති. සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බැවින් මෙහිදී ඡන්ද විමසීමක් සිදුවන්නේ නැහැ.
මේ අතර, පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා සිදුකළ රාජාසන කතාවෙන් අනතුරුව අද පස්වරු එකට යළිත් පාර්ලිමේන්තුව රැස්වුණා.
එහිදී පළමුවෙන් අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ කථානායක කරු ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නා.
එහිදී පාර්ලිමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම ද සිදුවුණා.
ඒ අනුව සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නම් කෙරුණු අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස නම් කෙරුණේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුයි.
විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක නම් කර ඇති බවයි කථානායකවරයා සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන් වරුණ ප්‍රියන්ත ලියනගේ මන්ත්‍රීවරයා සුළු වේලාවක් ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටි අතර, පසුව විපක්ෂයේ අසුන්ගත්තා.
නව පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ජ්‍යෙෂ්ඨත්වය හා පක්ෂ නායකත්වය මුල්කර ගනිමින් සිදුකර ඇති අතර, ආණ්ඩු පක්ෂයේ මුල් පෙල 05 වන අසුන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාටත්, 06 වන අසුන සභානායකවරයාටත්, 07 වන අසුන අග්‍රාමාත්‍යවරයාටත් වෙන්කර තිබෙනවා.
එම පෙලෙහි 08 වන අසුන වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයාටයි.
මීට අමතරව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්, ඊ.පී.ඩී.පී. නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට මෙන්ම ආණ්ඩුවට සහය පළ කිරීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ටද ඉදිරිපෙල අසුනක් වෙන්කර තිබෙනවා.
පළමු වරට අමාත්‍ය ධූර හිමි වූ ප්‍රසන්න රණතුංග සහ රමේෂ් පතිරණ යන මන්ත්‍රීවරුන්ටද ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙල අසුන් වෙන්කර තිබීම විශේෂත්වයක්.
මේ අතර, කතානායකවරයාට වම් පසින් වන විපක්ෂයේ 08 වන අසුන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වෙන්කර ඇති අතර, ඒ ආසන්නයේම වන 09 වන අසුන වෙන්කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටයි.
මීට අමතරව රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයින්ටද විපක්ෂයේ ඉදිරිපෙල අසුන් වෙන්කර ඇති අතර, ඉදිරිපෙල අසුන් වෙන්කර ඇති මංගල සමරවීර සහ රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරුන් අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.
පසුගිය රජය සමයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ, ජනාධිපතිවරණ සමයේ ඉන් ඉවත්ව කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට විපක්ෂයේ දෙවනපෙල අසුනක් වෙන්කර තිබීම විශේෂත්වයක් වුණා.
Share This Article