බෲස්ලීගේ ඡායාරූපයක් යොදා ගැනීමට එරෙහිව දියණිය නඩු මඟට
Friday, 03 January 2020 - 9:15 | Views - 483

සුපිරි නළුවෙකු සහ නිරායුධ සටන් ක්‍රම සම්බන්ධ සුපිරි තරුවක් වූ බෲස් ලී ගේ ඡායාරූපයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ දියණියට අයත් සමාගමක් විසින් චීන ක්ෂණික ආහාර සමාගම් ජාලයකට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.
රියල් කුන්ග්ෆු සමාගම, සිය සමාගමේ අවසරයකින් තොරව බෲස් ලීගේ ඡායාරූපයක් යොදාගෙන ඇති බවට බෲස් ලී එන්ටර්ප්‍රයිසස් සමාගම චෝදනා කරයි.
බෲස් ලී එන්ටර්ප්‍රයිසස්, බෲස් ලී ගේ දියණිය ශැනන් ලීට අයත් සමාගමකි.රියල් කුන්ග්ෆු සමාගම වහාම එම ඡායාරූපය ඉවත් කළ යුතු බව පවසන බෲස් ලී එන්ටර්ප්‍රයිසස් සමාගම, සිදු කළ වරද සඳහා ඩොලර් මිලියන තිහක වන්දියක් ඉල්ලා සිටින බවද වාර්තා වේ.
එහෙත් රියල් කුන්ග්ෆු සමාගම පවසන්නේ, එම රූපය යොදාගැනීමට චීන බලධාරීන් විසින් අනුමැතිය ලබා දුන් බවය.
නිරායුධ සටන් ඉරියවුවෙන් සිටින කළු හිස කෙස් සහිත පුද්ගලයෙකුගේ ඡායාරූපයක් එම සමාගමේ නාම පුවරුවේ දැක්වේ.
රියල් කුන්ග්ෆු සමාගම පවසන්නේ, වෙළෙඳ නාම සම්බන්ධ චීන ආයතනයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව, තවත් වසර 15 ක් මුළුල්ලේ අදාළ ඡායාරූපය භාවිත කරමින් සිටින බවය.
එතරම් කාලයක් එය භාවිතා කිරීමෙන් අනතුරුව හදිසියේම මෙවැනි නඩුවක් පැවරුනේ මන්දැයි තමන් විස්මයට පත්ව සිටින බව පවසන එම සමාගම, චෝදනාවට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ දැයි අධ්‍යයනය කරමින් සිටින බවත් සඳහන් කරයි.
1990 දී පිහිටුවන ලද රියල් කුන්ග්ෆු මේ වන විට චීනය පුරා ශාඛා 600 ක් පවත්වාගෙන යන සමාගමකි.
බෲස් ලී එන්ටර්ප්‍රයිසස්, කුන්ග්ෆු තරුවක් වූ බෲස් ලී ගේ ඡායාරූපවල අයිතිය සම්බන්ධයෙන් ක්‍රියා කරන සමාගමය.
ඉහත කී නඩුව සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීම පිණිස බීබීසිය බෲස් ලී එන්ටර්ප්‍රයිසස් සමාගම ඇමතුව ද ඉක්මන් ප්‍රතිචාරයක් නොලැබිණ.
Share This Article