මහමුහුද ගොඩ ගැලූදා, අම්මාව කරේ තියන් පිහිනපූ බෝසත් පුතා
Tuesday, 31 December 2019 - 10:01 | Views - 2,085
මහ සාගරයේ රුදුරු ජල කඳ සමඟ සටන් කොට තම මවගේ ජීවිතය බේරාගත් පුරාතන කතාවක් අපට ඇසෙන්නේ මාතුපෝසක ජාතකයෙනි.
 
බෝසත් කුමරුන් තම මව කර මත තබාගෙන ගව් ගණන් දුර පිහිනා ඇගේ ජීවිතය රැකගත් නිසා අවසානයේදී ‘පුතේ ඔබ මතු බුදු බව ලබාවි’ යනුවෙන් නියත විවරණ ලැබූ බව එහි වැඩිදුරටත් සඳහන්ය.

පන්සිය පනස් ජාතක පොතේ ඇති මේ සුවිශේෂී කතාව අපේ කාලයේදීත් නැවත ඇසුණේ මීට වසර 15කට පෙර මෙරට සිදුවූ සුනාමි ඛේදවාචකයේදීය.
 
එදා මේ නියත විවරණය ලබාදුන්නේ දෙදරු මවක වූ කල්‍යාණි එස්.එන්. දේවේන්ද්‍රසිංග නම් වූ ගුරුවරියයි. එසේත් නැත්නම් තලාව, අන්දරවැව ගම්මුන් අතර සුප්‍රසිද්ධ ජානකී ටීචර්ය.
 
ජානකී ටීචර්ගෙන් මේ නියත විවරණය ලැබූ දරුවා වූයේ ඇගේ වැඩිමහල් පුතු ප්‍රභාත් බුද්ධිකයි. ඇය පැරෑලිය ප්‍රදේශයේදී සුනාමියට හසුවී 21 හැවිරිදි තම පුතණුවන් නිසා ජීවිතය ගලවාගත් සෙනෙහබර මවකි.
 
සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් ගතවන මොහොතක අපි මේ අදහාගත නොහැකි කතාව රටට කියන්නට සිතා ඔවුන් හමුවුණෙමු.
 
“මගේ පොඩි පුතා ඒ වෙද්දී නාවික හමුදාවට බැඳිලා ටික දවසයි. ඉතින් පුතා බලන්න අපි තලාවේ ඉඳලා ගාල්ලට ගියේ දෙසැම්බර් 23දා රාත්‍රියේ” ජානකී ටීචර් මේ කතාව කියන්නට පටන් ගත්තේ එහෙමයි.
 
තලාවේ සිට අනුරාධපුර ස්ටේෂමට ආවේ ඇයගේ ලොකු පුතා ප්‍රභාත් බුද්ධික සමඟය. ඒ අනුව ඔවුහු එදා රාත්‍රියේ කොළඹ බලා එන දුම්රියට ගොඩවූහ.
 
කොළඹට පැමිණි ඔවුන් ඉන් අනතුරුව ගොඩ වෙන්නේ සමුද්‍රදේවි දුම්රියටයි. දුම්රිය වෙනදා වගේම කලට වේලාවට දකුණ බලා ගමන් ඇරැඹුවේය. එතැන් සිට මේ කතාව කියන්නට භාර වුණේ ප්‍රභාත් බුද්ධිකටය.
 
“අපි ගමන්ගත් කෝච්චි පෙට්ටියේ මහ විශාල සෙනඟක් හිටියා. පුංචි දරුවොත් හිටියා. මමත් අම්මත් හිටියේ හිටගෙන. කොහොම හරි ඔය සිද්ධිය වුණු තෙල්වත්ත දුම්රිය ස්ථානයේ කෝච්චිය නවත්තලා තියෙද්දී මම හිටියේ කෝච්චි පෙට්ටියේ ‍දොර ළඟ.”
 
මේ කතාවේ ත්‍රාසජනකම එහෙමත් නැතිනම් විනාශකාරීම සිදුවීම ප්‍රභාත් බුද්ධිකට දකින්නට ලැබෙන්නේ ඉන් පසුවයි.
 
“එක පාරටම මහ විශාල සෙනඟක් කෝච්චිය තියෙන පැත්තට දුවගෙන ආවා. ඒ අය ආවේ මර ළතෝනි තියාගෙන. ඇත්තටම මම හිතුවේ මොකක් හරි ලොකු රණ්ඩුවක් වෙලා කියලා.”
 
තවත් මොහොතකින් ප්‍රභාත් දුටුවේ ඇස් අදහාගත නොහැකි දසුනකි. ඒ මහා කළු මුහුදු රැල්ලක් ඝෝෂා කරමින් පෙර කී මිනිසුන් හඹා එන ත්‍රාසජනක දසුනකි.
 
“මට හිතාගන්න බැරි වුණා. මොකක්ද මේ මුහුදු රැල්ල කියලා. ඒ මුහුදු රැල්ලේ ගෙවල්වල වහල, බිත්ති, කැඩුණු ගස්, වාහන පවා තිබුණා. ඒ වගේම මිනිස් ජීවිත කොයිතරම්ද කියලා හිතාගන්න බැහැ.”
 
මේ විධියට ආපු මුහුදු රැල්ල කෝච්චි පෙට්ටිවලටත් එල්ල කළේ දරුණු පහරකි. ප්‍රභාත් බුද්ධිකලා සිටි කෝච්චි පෙට්ටිය ගැලවී රේල් පාරෙන් විසිවී ගියේය. වට පිටාවෙන් ඇසුණේ මර ළතෝනිය.
 
“මුලදීම දණහිස ළඟට වතුර ආවේ. මම අම්මා ළඟට ගිහින් ඇයට සීට් එකට නැඟලා සිටගන්න කිව්වා. ඊළඟට තවත් රැල්ලක් ආවා. අම්මා එතකොට සීට් එකේ හිස හේත්තු කරන උඩ දක්වා නැඟලා බෑග් තියන තැන යකඩ බාර් එක අල්ලගෙන හිටියා. ඒත් එහෙම ඉන්න ලැබුණේ පුංචි වෙලාවයි. තවත් වතුර පිරෙන්න පටන් ගත්තා.”
 
මේ බැරෑරුම් අවස්ථාව වටහාගත් ප්‍රභාත් බුද්ධික මුලදීම තමන්ගේ පාවහන් ගලවා දමා අම්මගේ අත්බෑගයත් ඔහුගේ කර මතට ගෙන පෙර සූදානමකින් සිටියේය. එමෙන්ම කලබල නොවී නිරවුල් මනසකින් යුතුව ඊළඟට කළ යුතු දේ ගැන මෙනෙහි කළේය.
 
“ඩිංග ඩිංග වතුර පිරෙන කොට කෝච්චි පෙට්ටියේ සිටි අය ජනෙල් වහන්න පටන් ගත්තා. අන්තිමට හැම තැනින්ම වතුර ඇවිත් පෙට්ටිය පෙරළුණාම අපිට ජනේලයකින්වත් එළියට පනින්න බැරි වුණා.”
 
“අම්මා කර කියා ගන්න දෙයක් නැතිව වතුරේ දඟලනවා. මම යකඩ බාර් එකක එල්ලිලා ජනෙලට පයින් ගහලා ඒක ඇරගත්තා. එහෙම ජනෙලෙ ඇරගත් මම මුලින්ම එළියට ගිහින් අම්මගේ අත අල්ලලා ඇයව එළියට ගන්න උත්සාහ කළා. ඒත් අහුවුණේ අම්මාගේ අතකුයි, තවත් එක් කෙනකුගේ අතකුයි.”
 
ප්‍රභාත් බුද්ධික ජලය සමඟ පොරබදින්නට පටන් ගත්තේ මෙතැන් සිටය. ඔහු තම මවගේ දෑත් අපහසුවෙන් යුතුව සොයාගෙන ඇයව කෝච්චි පෙට්ටියෙන් එළියට ගත්තේ දැඩි පරිශ්‍රමයකින් යුතුවය.
 
“මම එහෙම ඇදලා අරගෙන අම්මව පෙරළුණු කෝච්චි පෙට්ටියේ උඩට ගත්තා. අරගෙන අම්මටත් බය නැති වෙන්න කතා කළා. අම්මේ... අම්මේ... බය වෙන්න එපා... මම ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ. බේරගන්නවා.”
 
ඔහු එසේ කියත්ම කෝච්චි පෙට්ටිය නැවතත් මහ වේගයෙන් පැද්දෙන්නට විය.
 
“ඒ වෙලාවේ කෝච්චි පෙට්ටියේ මුදුනටමත් වතුර තිබුණා. අපි හිටගෙන ඉන්න තැන කකුල්වලින් උඩ වතුර නැහැ. ඒත් කෝච්චි පෙට්ටිය වේගයෙන් පැද්දෙනවා. ඉන්නත් බැහැ. මම අම්මට කිව්වා සාරිය ගලවලා විසි කරන්න කියලා. මොකද ඒක තෙමිලා නිසා අපිට පිහිනන්න බැහැ. ඇඟට බරත් වැඩියි.”
 
ජානකී ටීචර් තමන්ගේ දරුවා කියූ ඔවදන පිළිගත්තාය. සාරිය ගලවා දැමූ ඇය බය භිරාන්ත වී බලා සිටියේ ඊළඟට කළ යුතු දේ ගැන කිසිදු අවබෝධයක් නැතිවය.
 
“අම්මේ මගේ කරට නඟින්න. මොනම හේතුවක් නිසාවත් මාව අතඅරින්න එපා.”
 
ඇය කීකරුව ඒ උපදෙස් පිළිගත්තාය. තවත් මොහොතකින් ප්‍රභාත් බුද්ධික පුතා මුහුදු වතුරට බැස පීනන්නට පටන් ගත්තේය. එය සැබැවින්ම සානුකම්පිත අවස්ථාවකි.
 
“අම්මේ මාව අතඅරින්න එපා.” ප්‍රභාත් බුද්ධික නැවත නැවතත් කෑගසන්නට වූයේය.
 
“මට පීනන්න අපහසුයි. ඒත් අම්මට මම ඒක පෙන්නුවේ නැහැ. හිතට ධෛර්යය අරන් ටිකක් දුරක් පීනලා පොල් ගහක අත්තක් අල්ල ගත්තා. අම්මේ ඔය දිග යට සායත් ගලවන්න. ඒකත් එක්ක පීනන්න බැහැ.”
 
ගැහැනියකට පමණක් නොව පිරිමියකු තුළද විළි බිය පවතී.
 
එය අප උපතින්ම රැගෙන එන මානුෂික දායාදයකි. එහෙත් මරණ බිය ඇතිවන අවස්ථාවලදී ජීවිතය බේරා ගැනීමේ අටියෙන් නොකළ යුතු දේ කිරීමට පවා අප පෙලඹෙන බව නොරහසකි.
 
“අම්මා මම කිව්ව දේ කළා. ඊළඟට ආපසු ඇයව කරමත තබාගෙන මම පිහිනන්න පටන් ගත්තා. විනාඩි 10ක් විතර මේ විදියට පීනලා අපි ගෙදරක වහලේ කොන්ක්‍රීට් ලෑල්ලක් උඩට ගොඩ වුණා. ඔහොම ඉන්නකොට මම දැක්කා තවත් අය ජීවිතේ බේරාගන්න කියලා කෑගහනවා. මම ආපහු වතුරට පැනලා එහෙම කිහිපදෙනකුත් බේරගෙන කොන්ක්‍රීට් ලෑල්ල උඩට ගත්තා.”
 
මොහොතක් ගතවිණි. ගොඩ බිමට පහරදී මහා විනාශයක් කළ රකුසු මුහුදු රැල්ල යළිත් මුහුදටම ඇදී ගියේය. එහෙත් විනාශය දරුණුය.
 
“විදුලි කණු කඩාගෙන වැටිලා කරන්ට් එක වැදිලා පිච්චුණු මළ සිරුරු වගේම කොන්ක්‍රීට් හා බිත්තිවලට, ගස්වලට යටවෙලා මැරුණු අයගේ මළ සිරුරු හැම තැනම විසිරිලා තිබුණා. කෝච්චියේ ගමන් කරපු බොහෝ දෙනෙක් තැනින් තැන මැරිලා. හැම මළ සිරුරක්ම විරූපී වෙලා. නිරුවත් වෙලා. ඇඟේ ඇඳුම් නැහැ. මගේ අම්මා කෑගහලා විලාප දෙනවා. වටින් පිටින් ඇහෙන්නෙත් ඒ වගේම විලාප.”
 
මේ ව්‍යසනයට හසුවී දිවි ගලවාගත් පිරිස ඊළඟට කළේ තෙල්වත්ත විහාරස්ථානය වෙත ගමන් කිරීමය. මේ මොහොතේ ජානකී ටීචර් අසල ගමන් ගත්තේ ප්‍රභාත් පුතා සහ කුඩා දැරියක් සමඟ සිටි තරුණ යුවළක්ය.
 
“ඒ පුංචි ගෑනු ළමයා කෝච්චි පෙට්ටියේ ඉඳලම මා එක්ක හිනාවෙවී ආවේ. ඒ මම වගේ මාමා කෙනෙක් එයාට ඉන්නවා කියලා. ඉතින් ඒ යාළුකම වගේම අර දෙන්නත් හොඳටෝම හෙම්බත් වෙලා හිටපු හින්දා මම ඒ දරුවව කරේ තියාගෙන පන්සල දක්වා ඇවිද්දා.”
 
විහාරස්ථානයට ඇතුළුවීමට පෙර මුහුදු වතුරේ ගසාගෙන ඇවිත් තිබූ ඇඳ රෙද්දක් අතට ගත් ජානකී ටීචර් යට ඇඳුම් නොපෙනෙන ලෙස එය ඇඟේ ඔතා ගත්තාය. අනතුරුව කළේ ප්‍රභාත් බුද්ධිකගේ සාක්කුවක තිබූ ලේන්සුව ගෙන පඬුරක් ගැට ගසා බෝ සමිඳුන්ට එය පූජා කිරීමය.
 
මේ කතන්දරයේ අනුවේදනීයම අවස්ථාව උදා වූයේ ඉන් පසුවය.
 
“අම්මා පඬුර ගැටගහලා මා දිහාවට හැරුණා. හැරිලා කෑගහලා අඬ අඬ කිව්වා පුතේ ඔයා මාව කර උඩ තියාගෙන පීනලා මගේ ජීවිතේ බේරගත්තා. අනේ පුතේ උඹ මතු බුදු වෙනවා මගේ පුතේ කියලා. ඇත්තටම මහත්තයො අම්මා එහෙම කියද්දී මටත් ඇඬුණා. අපි දෙන්නා ගොඩක් වෙලා බදාගෙන ඇඬුවා.”
 
මවකගෙන් මෙවන් විවරණයක් ලබන්නට දරුවෝ කොයිතරම් වාසනාවන්ත විය යුතුද?
 
ප්‍රභාත් බුද්ධික මේ ප්‍රාර්ථනාව ලැබුවේ සැබෑවටම කළ පරිත්‍යාගශීලී කටයුත්තක් නිසාය.
 
“ඇයි ජානකී ටීචර්ට මේ වගේ ප්‍රාර්ථනාවක් කරන්න හිතුණේ?” අපි ඇගෙන් ඇසුවෙමු. ඇය කඳුළු අතරින් මෙසේ කීවාය.
 
“මහා විනාශකාරී ඒ වගේම මහා භයානක අවස්ථාවක්. මම මගේ පුතාට හැම වෙලාවෙම කිව්වා පුතේ ඔයා මාව අතහැරලා ගිහින් ජීවිතේ බේරගන්න කියලා. ඒත් මගේ පුතා මාව දාලා ගියේ නැහැ. මම ඇස් දෙකෙන් දැක්කා එයා ලොකු සටනක් කරලා මාව බේර ගත්ත විදිහ. ඒක වචනවලින් විස්තර කරලා කියන්න බැරි මහා භයානක අවස්ථාවක්. කෝච්චියට වතුර පිරෙන වෙලාවේ මම එක දිගට පිරිත් කිව්වා. ඒ වගේම මම හිතුවා මගේ සාමාන්‍ය ජීවිතයේදීවත්, පෞද්ගලික ජිවිතයේදීවත් කාටවත් නරකක්, ගුණමකුකමක් කරලා නැහැ. ඒ නිසා ඒක ඇත්ත නම් දෙවියෝ බුදුන් මට පිහිට වේවි කියලා. ඒක ඇත්ත වුණා.”
 
මේ ආකාරයට ජීවිතය බේරාගත් මව - පුතු දෙපොළ දින දෙකක් පමණ තෙල්වත්ත පන්සලට වී කාලය ගත කරන්නට වූහ.
 
මිනිසුන්ගේ දුක් අඳෝනා, මියගිය දරුවන්ගේ, වැඩිහිටියන්ගේ දේහයන් දිහා බල බලා දවසක් විතර ඉන්නකොට ගාල්ල ප්‍රදේශයෙන් ආපු අඳුනන කට්ටියක් තෙල්වත්ත පන්සලට ආවා. ඒ අය ආවේ ඒගොල්ලන්ගේ අතුරුදන් වුණු අය සොයාගෙන.
 
මේ අයගේ උදව්වෙන් ජානකී ටීචර් හා ප්‍රභාත් බුද්ධික කොළඹට ආවේය. ඊළඟට කඩ සාප්පුවකට ගොඩ වී රබර් සෙරප්පු දෙකක් මිලදී ගෙන බස් රථයකට ගොඩවී තලාව ප්‍රදේශයට ආවේ දැඩි මානසික පීඩනයකින් යුතුවය.
 
“අපි ගෙදරට එද්දී මගේ මහත්තයා වගේම ඥාති හැමෝම මළ ගෙදරකට ලෑස්ති වෙලා හිටියා. හට් ගහලා පින්තූර කණපිට පෙරළලා. අපේ මළමිනී ගෙදරට අරන් එන්න සියලු දේ සූදානම් කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි බූස්ස කඳවුරේ ඉඳපු නාවික හමුදාවේ පුතාව රාජකාරි කරන්න යවලා තිබුණෙත් පැරෑලියට. එයා මේ කෝච්චියේ අපි ආපු බව දන්න නිසා අඬ අඬා අපි දෙන්නගේ සිරුරු හොයලා තිබුණා. ඉතින් මේ විදියට හැමෝම අපි මැරිලා ඇති කියලා හිතුවත් මගේ ප්‍රභාත් පුතා මාව බේරගත්ත විධිය පස්සේ මම හැමෝටම කිව්වා. මම තවමත් මගේ පුතාට ආදරෙයි. එයත් එහෙමයි. අපි අතරේ තිබෙන්නේ පුදුමාකාර බැඳීමක්. එයත් මට තවම පණ වගේ ආදරෙයි.”
 
ප්‍රභාත් බුද්ධික දැන් දෙදරු පියෙකි. ඔහු දැන් කැකිරාව ගමනාගමන මණ්ඩලයේ සේවය කරයි. ජානකී ටීචර් තලාව ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන්ට මවක් මෙන් අකුරු උගන්වයි.
 
“මෑතකදී අපේ ගමේ පන්සලේ විහාරගෙයි මම මගේ උසට මගේ වියදමින් චිත්‍රයක් ඇන්දුවා මාතුපෝසක ජාතකයේ අපේ බෝසතාණන් වහන්සේ අම්මාව කර මත තබාගෙන පීනන දර්ශනය තමයි ඇන්දුවේ. ඇත්තටම මගේ පුතා කළ වීරකම සිහිකරලා එයාට සෙත් පතන්න තමයි මම එහෙම කළේ.” ජානකී ටීචර් යළිත් කීවේ හැඟුම්බර හඬකිනි.
 
අපේ ජීවිත කාලයේදී අපි අසන දකින කතන්දර එමටය. නමුත් ඒ කතා අභ්‍යන්තරයේ ඇති ඇතුළු සිදුවීම් පුදුමාකාරය. ජානකී ටීචර් හා ඇයගේ ආදරණීය පිරිමි දරුවා සුනාමියේදී මුහුණ දුන් මේ කතන්දරයත් ඒ ආකාරයේම විරල ගණයේ සංවේදී කතන්දරයකි.
 
සමන් ප්‍රියංකර නම්මුනිගේ
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top