රාජිත රෝහල් ගත වූ හැටි අධිකරණයේදී හෙළිවේ - පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයාට එරෙහිවත් පැමිණිලි
Monday, 30 December 2019 - 19:30 | Views - 4,508

සුදුවෑන් ප්රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ දින දෙකකට ආසන්න කාලයක් සොයා ගත නොහැකිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇත්තේ අවුකන්නාඩියක් සහ හිස්වැස්මක් පැළඳගෙන බවට අද අනාවරණ වුණා.
ඒ මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී සැකකාර මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හල මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් බලපැවැත්වෙන බවයි.
අද දිනයේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමව රෝහල් ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරින්ගෙන් ප්‍රශ්න කලේ නඩුවේ තෙවන සැකකරු රාජිත සේනාරත්න අද අධිකරණයට ඉදිරිපත් කරන්නේ ද යන්නයි.
සැකකරු කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණ ද, ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් ඒ සඳහා ඉඩ ලබාදී නොමැති බව එහිදී බන්ධනාගාර නිලධාරින් ප්‍රකාශ කළා.
මෙහිදි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී තිබියදීත්, පැය 48 ක පමණ කාලයක් සැකකරු පිළිබඳව විමර්ශන නිලධාරින්ට කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවූ බවයි.
එහෙත්, පසුගිය 26 වනදා පස්වරුවේ අවු කන්නාඩියක් සහ හිස්වැසුමක් පැළඳ මන්ත්‍රීවරයා ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බවයි ඔහු කියා සිටියේ.
මොහොමඩ් මුබාරක් නමැති විශේෂඥ වෛද්‍යවරයෙකු සැකකරුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට තරම්, බරපතල රෝගී තත්ත්වයක් නොමැති බව පැවසීමෙන් පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරින් භාරයේ තැබූ බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නා.
එතැන් සිට නඩුව විභාගයට ගන්නා මෙම අවස්ථාව දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් අවස්ථාවක් ලබාදී නොමැති බවයි ඔහු කියා සිටියේ.
නීතිය ක්‍රියාත්මක වීම, අපගමනයකට ලක් කිරීමට වෛද්‍ය වෘත්තීය අවභාවිත කරමින් ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් කුමන්ත්රණයක නිරත වන බව ද, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී චෝදනා කළා.
ඔහු එහිදී ප්‍රශ්න කළේ 26 වන දින සැකකරු රෝහල් ගත වීමෙන් පසු දින 3 ක් තුළ ඔහු සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රතිකාර කවරේද යන්න සහ ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ මන්ද යන්නයි.
අධිකරණ ක්‍රියාවලිය, අපගමනයකට ලක් කිරීමට උත්සාහ දරමින් හිපොක්රටික් වෛද්‍ය දිවුරුම් ප්‍රතිඥාව අවභාවිතයට ලක් කරන ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
සුදුවෑන් ප්රවෘත්ති සාකච්ඡාවට පැමිණි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 ක මුදලක් දුන් බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි පසුගිය සිකුරාදා සිට පදිංචි නිවසින් අතුරුදන්ව ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබාදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි නියෝජ්‍ය සොලිිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ.
එසේම, ප්රවෘත්ති සාකච්ඡාවට පැමිණි නඩුවේ පළමු සහ දෙවැනි සැකකරුවන් අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා ඇති අවස්ථාවක ඔවුන් සම්බන්ධයෙන් නව චෝදනා ගොනු කිරීමක් සිදුකරන තෙක් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට ඇප ලබා නොදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.
එහිදී මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර සඳහන් කළේ තම පාර්ශවයෙන් ඇප ඉල්ලා සිටීමට පෙර පැමිණිල්ල ඊට විරුද්ධ වීම නෛතික වශයෙන් දෝෂ සහගත බවයි.
එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඇප දීමට විරුද්ධවීම, දෝෂ සහගත නොවන බව ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න කියා සිටියා.
මෙහිදී ජනාධිපති නිීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ නිදහස භාවිත කර තම සේවාදායකයා තමන් වෙත පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුව මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් පැවසූ කරුණු වල වගකීම තම සේවාදායකයාට භාර ගත නොහැකි බවයි.
එසේම, පසුගිය 25 වනදා තමා කතානායකවරයාට, ඇමතුමක් දුන් අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද දිනය වනතෙක්, අත්අඩංගුවට නොගන්නා බවට වැඩබලන පොලිස්පතිවරයා, කතානායකවරයා දැනුවත් කර තිබූ බව දැනගත් බව ද, ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ මන්ත්‍රීවරයාව එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා ලංකා රෝහලේ පහසුකම් නොමැති බැවින් ඔහුව නවලෝක රෝහලට රැගෙන යා යුතු බවත්, ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නා.
දේශපාලන කරුණක් මත තම සේවාදායකයාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුට විරුද්ධව ගොනුකර ඇති සෑම චෝදනාවක්ම ඇප දිය හැකි චෝදනා බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇප ලබාදෙන ලෙසයි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර ඉල්ලා සිටියේ.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පළමුව කියා සිටියේ මොහොමඩ් රූමි නමැත්තා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිය ද ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවේ සඳහනක් නොමැති බැවින් වරෙන්තු නිකුත් කළ නොහැකි බවයි.
එහෙත්, අධිකරණ අවසරයකින් තොරව විදෙස් ගත වීම තහනම් කරමින් ඔහුට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළා.
අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඇප දීමේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුගමනය කර ඇති අවිධිමත් ක්‍රියාපටිපාටිය කෙරෙහි තමන් දැඩි අවධානය යොමුකරන බවයි.
සුදුවෑන් ප්රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් පළමු සහ දෙවන සැකකරුවන් මිනීමැරීම් සහ කොල්ලකෑම් යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබුණ ද, පසුගිය නඩු වාරයේදී අධිකරණය විමසනතුරු සැකකරුවන්ට විරුද්ධව එම චෝදනා ඔප්පු වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී නොතිබුණු බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.
එවැනි වාතාවරණයක් තුළ මුල් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන්ට අදාළවම ආධාර අනුබලදීම යටතේ තෙවන සැකකාර මන්ත්‍රීවරයාව අධිකරණයට ඉදිරිපත් කිරීම බරපතල නීතිමය පරස්පරතාවයක් මතු කරන්නක් බවයි ඇය පෙන්වා දුන්නේ.
ප්‍රතිවාදී අපේක්ෂකයාට විරුද්ධව ජනාධිපතිවරණ සමයේ අසත්‍යය පැතිරවීම බරපතල වරදක් නොවන බවට තමන් නිගමනය නොකළ ද, පළමු හා දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් ගෙන ගිය නීති කෘත්යයටම තෙවන සැකකරු ඉදිරිපත් කිරීම විධිමත් නොවන බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.
එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට එරෙහිව ගොනුකර ඇති චෝදනාවට ඇප ලබාදීමේ හැකියාව තම අධිකරණයට පවතින බවයි සඳහන් කළේ.
ඒ අනුව, සැකකරුවෙකුට විරුද්ධව රීතිය ඇප දීම වන හෙයින් සහ එහි ව්‍යතිරේඛය ඇප ලබා නොදීම හෙයින් මන්ත්‍රීවරයාට ඇපනොදීමට තරම් බරපතල කරුණක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති නිසා ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.
එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට පනවා ඇති විදෙස් ගමන් තහනම එලෙසම බලපැවැත්වෙන බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුන්නේ සැකකරු මෙම අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කර නොමැති නිසා, ඇප කොන්දේසි සපිරීම පිළිබඳව සැකකරුගෙන් රෝහලේදී අත්සන් ලබා ගන්නා ලෙසයි.
මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ දක්වා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී නොමැති නිසා, ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බව දැනුම් දුන්නා.
ඊට අවධානය යොමුකළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට නියෝග කළේ නේවාසික ප්‍රතිකාර ලබා අවසන් වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.
මේ අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා වෛද්යආචාර ධර්ම කඩ කර ඇත්ද යන්න සොයා බලන ලෙස ඉල්ලා පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට පැමිණිල්ලක් යොමු කළා.
Share This Article