මල් වඩ­මින් සැර­සුණු තූත­න්කා­මන්
Monday, 30 December 2019 - 15:28 | Views - 952
තූතන්කාමන් යන නාමය මුළුමහත් ලෝකවාසී ජනතාවම අසා තිබෙන හුරුපුරුදු නමක් බවට සැකයක් නැත. මේ අතරින් විශේෂත්වයක් හිමි වන්නේ මිය යන්නටත් ප්‍රථම මිසරයේ රජවරුන් විසින් සාදා නිම කරන ලද සොහොන් කොත් සම්බන්ධයෙනි. ස්වාභාවික කන්දක් වූ ‘හොර්න්’ කඳු මුදුනේ පිහිටා ඇති මේ රජවරුන්ගේ සොහොන් කොත් තිහකටත් වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් එහි තිබී සොයාගෙන ඇත. එහෙත් අද ඉතිරි වී ඇත්තේ එයින් සිරුරු දෙකක් පමණි. දෙවැනි අමෙන්හෙටෙප් රජුගේ මමිය ඔහුගේ පාෂාණමය මිනී පෙට්ටියේ තැන්පත්ව ඇති අතර තූතන්කාමන්ගේ සිරුර රන් දෙවොල තුළ තැන්පත් කළ ආකාරයටම එහි තිබේ.

මේ පිළිබඳ වැඩි විස්තර සොයාගෙන ඇත්තේ 1873දී නොර්ෆෝක්වල උපත ලැබූ හොවාර්ඩ් කාටර් විසිනි. 1899දී මිසර රජයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ භාණ්ඩ පිළිබඳ පරීක්‍ෂක ජනරාල් ලෙස පත් කරනු ලැබූ ඔහු 1922දී තූතන්කාමන්ගේ සොහොන් ගැබ සොයාගැනීමට සමත් විය.

මල්වඩම් භාවිත කරමින් මළ මිනී සැරසවීම අතීතයේ සිටම පැවැත එන සිරිතකි. 1881දී පළමු වැනි අහමොස් සහ පළමු වැනි අමන්හෙටප් යන රාජ වංශික රජවරුන්ගේ සිරුරු හමු වූ විට ද ඒ සමග තිබූ මල් වඩම් ද බොහෝ සෙයින් හමු විය. ආචාර්ය කාටර් විසින් තූතන්කාමන්ගේ මිනී පෙට්ටිය සොයා ගන්නා විට ද එහි ද මල්වඩම් තිබූ අතර ඒවා හොඳහැටි සංරක්‍ෂණය වී නොතිබිණි. නමුත් එම මල්කරුවා මල්වඩම සාදා ගැනීමට යොදා තිබූ පැළෑටි වර්ග හඳුනා ගැනීමට පමණක් හැකි වන අයුරින් සංරක්ෂණය වී තිබිණි. ඒ හා සමඟ මල් වඩම් තුනක් තිබිණි.

රජුගේ දෙවැනි මිනී පෙට්ටියේ කුඩා මල් වඩමක් තිබූ අතර එය සාදා තිබුණේ ඔලිව් කොළ, නිල් මානෙල් පෙති සහ තිරිඟු මල් උපයෝගි කරගෙනය. ඔලිව් කොළ අමුණා තිබුණේ එකක් උඩ පැත්තටත් අනෙක යටි පැත්තටත් සිටින සේය. මේ නිසා අලංකාරවත් ලෙස රිදී පැහැය හා ළා කොළ පැහැය දිස් වන්නට විය. මෙවන් මල් වඩම් සම්බන්ධයෙන් මළවුන්ගේ පොතේ පරිච්ඡේදයක්ම වෙන් කොට තිබෙන අතර එවන් මල් වඩමක් මිනී පෙට්ටිය මත තැන්පත් කරන විට කියවිය යුතු ස්තෝත්‍ර ද සඳහන් කර තිබිණි.

පපු ප්‍රදේශයේ පලඳවනු ලැබූ මල් කලඹ මල් මාලා හතරකින් සමන්විත වන අතර එය රඳවා තිබුණේ රජුගේ පපු ප්‍රදේශයේ අර්ධ කවාකාරය. පළමු මල් මාලාව මෙන්ම මෙම මල් මාලාව ද ඔලිව් කොළ සහ තිරිඟු මල් සහිතව සකස් කර තිබිණි. මෙම මල් මාලා සෑදීමේදී පැපිරස් දඬු රාමුව ලෙස ගෙන තිරිඟු මල්, නිල් මානෙල් පෙති, ඔලිව් කොළද ඒ මත අමුණාගෙනය.

ගෙල වටා තිබූ මල් මාලය හමුවී ඇත්තේ තුන් වැනි මිනී පෙට්ටිය මත තිබියදීය. මෙය සාදා තිබුණේ කොළ, මල් සහ කුඩා ගෙඩි වර්ග, පලතුරු ආදිය සහ ඒ අතරට නිල් පබළු ඇට අමුණමිනි. මේවා යොදා ගෙන මාල නවයක් නිර්මාණය කොට තිබිණි. මෙහි විශේෂත්වය වන්නේ මිසරයේ සොහොන් කොත් අතර තිබූ රජවරුන්ගේ මිනීවල ඇඟ කොටස විවිධාකාරයෙන් සරසා තිබුණේ තූතන්කාමන්ගේ අවමංගල්‍යය වටාපිටාව තුළ පමණි. මේ සැරසිලිවල විශේෂත්වය වන්නේ ඒවා ස්වාභාවික කොළ වර්ග හා මල් හා පලතුරුවලින් අමුණා නිර්මාණය කර තිබූ බැවිනි.

මේ මල් වඩම් ආදිය නිර්මාණය කර ගැනීමට යොදා ගෙන තිබූ නිල් මානෙල් මල පුරාණ මිසරවාසීන් උත්සව සඳහා බහුල ලෙස පාවිච්චි කළ මල් වර්ගයකි. මෙය මුලදී නයිල් නිම්නය ආශ්‍රිතව දක්නට ලැබුණු අතර පසු කාලීනව ජලය වැඩි වශයෙන් තිබුණු ස්ථානවලද බහුලව වැඩිණි. නිල් මානෙල් මල පිරමීඩවල මල් වඩම් සෑදීමේ සිට තවත් බොහෝ අලංකරණ කටයුතු සඳහා යොදාගෙන ඇත.

එමෙන්ම ඈත අතීතයේදී ඔලිව් ගස නයිල් නිම්නයේ ඉතාමත්ම සාරවත් ලෙස වැඩෙන්නට ඇති බව තවමත් පැහැදිලිව සාක්ෂි තිබේ. මෑත කාලීනව ඔලිව් ගස මිසරයේ ඉතා සුළු වශයෙන් දක්නට ඇති ශාකයකි. හෙට්ස්ෆස්ට් රැජනගේ කාල වකවානුවේ ඇයගේ උද්‍යානයේ වවන ලද ගස්වල නාම ලේඛනයට ඔලිව් ගසේ නම ද යොදාගෙන ඇති බව ද ඉතිහාසගත විස්තරවල සඳහන් වේ.

තූතන්කාමන්ගේ භූමදාන කටයුතු සම්බන්ධයෙන් සටහන් තැබීමේදී මේ මල් වඩම් හා ඒ ආශ්‍රිතව අලංකරණ පිළිබඳ සඳහන් නොකර බැරිය. මන්ද ඒ සමානවම මෑත කාලයේදීත් ලෝකයේ සෑම තැනම වාගේ මේ ආකාරයට අවමංගල්‍ය කටයුතුවලදී මල් වඩම් සහ අලංකරණ කටයුතු සිදුවන බැවිනි. තූතන්කාමන්ගේ මල් මාලාවල සහ මල් වඩම්වල තිබූ මල් සහ පලතුරු වර්ග අනුව මේ සොහොන් ගැබ තුළ ඔහුගේ සිරුර තැන්පත් කළ වර්ෂය හා සෘතුව පවා සොයාගැනීමට ඉතිහාසඥයන්ට හැකි වී ඇත. ඔවුන් සොයාගත් කරුණුවලට අනුව තූතන්කාමන්ගේ සිරුර සොහොන් ගැබ තුළ තැන්පත් කරන්නට ඇත්තේ මාර්තු මාසයේ මැද සිට අප්‍රේල් මාසයේ අවසාන කාලය අතර බව නිසැක වශයෙන්ම ඔවුන් විසින් සඳහන් කර ඇත.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top