මිදි මෙන් එක පොදියට සෑදෙන නගරවල වැවිය හැකි නව තක්කාලි වර්ගයක් සංවර්ධනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
ක්‍රිස්පර් (සී.ආර්.අයි.එස්.පී.ආර්.) නමැති ජාන සංස්කරණ ක්‍රමවේදය යොදාගනිමින් මෙම නව තක්කාලි විශේෂය සංවර්ධනය කර ඇති අතර දින 40කින් අස්වනු නෙළාගත හැකි බව ද එම පර්යේෂකයෝ පිරිස පෙන්වාදෙති.
සාමාන්‍යයෙන් තක්කාලි වැල් වශයෙන් සෑදෙන අතර මෙම නව වර්ගය එක පොකුරකට සෑදේ.සාමාන්‍යයෙන් තක්කාලි වගා කළ නොහැකි නාගරික පරිසරවල පැළ කළ හැකි බවත් උස් ගොඩනැගිලි සහ අභ්‍යාවකාශ යානාවලද වගා කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
මෙම නව තක්කාලි විශේෂයත් සමඟ සාමාන්‍යයෙන් තක්කාලි වගා කිරීමට යන ඉඩ සහ ඒ සඳහා භාවිත කිරීමට සිදුවන පොහොර ප්‍රමාණය අඩු කිරීමට හැකිවනු ඇතැයි ද ප්‍රවාහන වියදම් මෙන්ම සාමාන්‍ය තක්කාලි වගා කිරීමේදී වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වනු ඇතැයිද පර්යේෂක කණ්ඩායම විශ්වාස කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ‘කෝල්ඞ් ස්ප්‍රින්ග් හාබර් ලැබෝරටරි’ පර්යේෂණ ආයතනයේ ජීව විද්‍යාඥ මහාචාර්ය සැක් ලිප්මන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදු කර තිබේ.
මෙම නව තක්කාලි විශේෂය වත්ත පිටුපස හෝ කෘෂිකාර්මික ඉඩමක සාමාන්‍යයෙන් වැඩෙන තක්කාලි හා සමාන බවත් මෙම නව තක්කාලි විශේෂයේ තිබෙන සුවිශේෂීම ලක්ෂණය එය එක පොදියට වැඩීම බවත් මහාචාර්ය ලිප්මන් පවසයි.
මෙම තක්කාලි ඉක්මනින් පැසෙන අතර ඉක්මනින්ම ආහාරයට ගත හැකි බව ද දින 40කින් අස්වනු නෙළා ගත හැකි බව පර්යේෂක කණ්ඩායම සඳහන් කරයි.
