ලොකු දෙයක් ඔළුවේ දාගෙන මම සෙල්ලම් කරන්නේ නැහැ.....
ඉලක්කයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන......
කණ්ඩායමේ ජේයෂ්ඨ ක්‍රීඩකයකු වීම නිසා එයින් ඔබට යම් පීඩනයක් තියෙනවද?
පළමු තරගය ක්‍රීඩා කළත් අවසන් තරගය ක්‍රීඩා කළත් ඕනෑම කෙනකුට පීඩනය තියෙනවා. නමුත් කාලෙන් කාලෙට ඒ පීඩනය වෙනස් වෙනවා. සංගා, මහේල ක්‍රීඩා කරන කොට ඒ අය අපිට සහයෝගය ලබා දුන්නා. දැන් අපේ අවස්ථාව ඒ සහයෝගය ළාබාල ක්‍රීඩකයන්ට ලබා දෙන්න. ජේයෂ්ඨ ක්‍රීඩකයකු වශයෙන් ඒ වගකීම කරන්න බලාපොරොත්තු වෙනවා වගේම කෙතරම් පීඩනයක් ආවත් ඒ හැම දෙයක්ම දරා ගන්නත් මට පුළුවන්.
ටෙස්ට්, එක්දින හා විස්සයි-20 රටාවලදී හොඳම පිතිකරණ සාමාන්‍යයක් තියෙන්නේ ඔබට. ඒ නිසාම මේ වනවිට ටෙස්ට් කණ්ඩායමේ ඉදිරියෙන් පිතිකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා නේද?
ඔව්. මම පසුගිය කාලේදී අංක 5 හෝ 6 යන ස්ථානවල ක්‍රීඩා කළා. ඒත් දැන් මට අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනයට අරන් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. කුමන ස්ථානයේ ක්‍රීඩා කරන්න ලැබුණත් මම බලන්නේ හැම වෙලාවෙම හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්නයි.
ක්‍රිකට් ක්‍රීඩාව අවසන් කරන අවස්ථාවේදී මෙතරම් ශතක ප්‍රමාණයක්, මෙතරම් ලකුණු ප්‍රමාණයක් ලබාගන්නවාය යන ඉලක්කයක් ඔබට තියෙනවද?
එහෙම ලොකු දෙයක් ඔළුවේ දාගෙන මම සෙල්ලම් කරන්නේ නැහැ. මම පළමුවෙන්ම බලන්නේ තරගයෙන් තරගය හොඳින් කරලා ලංකාවට අවශ්‍ය දේ කරන්නයි. ලොකු දේවල් ඔළුවට දාගත්තොත් ඒ දේවල් ගැන හිත හිත ඉන්නව ඇරෙන්න දැන් කරන්න තියෙන දේ සමහර විට අමතක වෙන්න පුළුවන්. නමුත් ඉලක්කයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ලකුණු 10,000ක් ලබාගැනීම මගේ ඉලක්කය වෙලා තිබුණත් ඒ මොනව කරන්නත් ශාරීරික යෝග්‍යතාවය වැදගත් වෙනවා. දැන් මම කරන්න ඕන හොඳ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගනිමින් මගේ රිද්මයට එන්නයි. එහෙම රිද්මයට ඇවිත් තරගාවලියෙන් තරගාවලිය හොඳින් කරලා මම අර මුලින් කිව්ව ඉලක්කයට යන්න අපේක්ෂා කරනවා.
විස්සයි-20 තරගවලදී දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ?
පසුගිය අගෝස්තු මාසයේදී නවසීලන්තය සමඟ පැවැති තරගාවලියෙන් පස්සේ තේරීම් කමිටුව මට කතා කරලා කිව්වා විස්සයි-20 තරගවලදී පන්දු යැව්වොත් හොඳයි කියලා. ටෙස්ට් හා එක්දින තරගවලදී මම පන්දු යවන්නේ නැති වුණත් ඒ අයගේ අදහස ඒක නිසා විස්සයි-20 තරගවලදී පන්දු යවන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් විස්සයි-20 කණ්ඩායමට තේරුණොත් අනිවාර්යයෙන්ම පන්දු යවනවා.
ඒ සඳහා දැන් පුහුණුවනවද?
ඔව්. මම 17 වැනිදා පන්දු යවන්න පටන් ගත්තා. එක පාරටම විශාල පන්දුවාර ප්‍රමාණයක් යවන්න හොඳ නැති නිසා පන්දුවාර කිහිපයක් විතරක් යවනවා. ලෝක කුසලාන තරගාවලියට තේරුණොත් මට යවන්න තියෙන පන්දුවාර ප්‍රමාණය මම යවනවා. පසුගිය ලෝක කුසලාන තරගාවලියට පෙර මාස 8ක් පමණ පන්දු යවලා තිබුණේ නැති වුණත් ඒ තරගාවලියේ කොදෙව් තරගයේදී මම පන්දු යවලා කණ්ඩායම වෙනුවෙන් යමක් කළා කියලා මට හිතෙනවා. ඒ වෙලාවෙදී මම දිමුත්ට කතා කරලා කිව්වේ ආබාධයක් ඇති වුණත් අවශ්‍ය නම් මම පන්දු යවන්නන් කියලයි. ඉදිරියටත් එහෙමයි.
නව පුහුණුකරු මිකී ආතර්ගේ පැමිණීමෙන් කණ්ඩායමේ යම් පිබිදීමක් තියෙනවද?
කණ්ඩායම හසුරුවන විදිය පිළිබඳව පුහුණුකරුවාගේ අතේ ලොකු වගකීමක් තියෙනවා. ඒ වාතාවරණය තමයි පුහුණුකරුවකුගෙන් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. මිකී ආතර් ඒ දේ හොඳට කරනවා. ඉදිරියටත් ඔහු ඒ දේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා වගේම විශ්වාස කරනවා. ඒ වගේම ඔහු හොඳ කණ්ඩායමක් හදයි කියලත් බලාපොරොත්තු වෙනවා.
"මව්බිම"