මාලිංගට ඉන්දියාවේදී අභියෝගයක්
Friday, 27 December 2019 - 13:30 | Views - 755
ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංගට අභියෝගාත්මක තරගාවලියක් බවට පත්ව ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ. එම තරගාවලියේ ප‍්‍රතිඵලය අනුව මාලිංගගේ නායකත්වය සම්බන්ධයෙන් විසඳුමක් ගැනීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.
 
 ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලබන ජනවාරි මස 5 වැනිදාත් දෙවැනි තරගය 7 වැනිදා සහ තුන්වැනි තරගය 10 වැනිදා පැවැත්වීමට නියමිතය. ඉන්දියානු සංචිතය ද මේ වන විට නම් කර ඇති අතර ශ‍්‍රී ලංකා සංචිතයද මේ වන විට සකස් කර ඇතැයි වාර්තා වේ. ඔස්ටේ‍්‍රලියානු සංචාරයට ක‍්‍රීඩා කළ සංචිතයම ඉන්දියානු සංචාරයටත් සහභාගි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සඳහන් වුවත් නිල සංචිතය තවමත් ප‍්‍රකාශ කර නොමැත.
 
 ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සඳහා තවමත් ස්ථිර නායකයකු පත්කර නැති බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා කිහිප වරක්ම පැවසුවද ලසිත් මාලිංග විස්සයි විස්ස නායකයා වශයෙන් ලෝක කුසලාන ඉලක්කයට යමින් සිටියි. නමුත් ඔහුගේ නායකත්වයේ ප‍්‍රතිඵල මේ වන විට ක‍්‍රිකට් ප‍්‍රධානීන් අතර මාතෘකාවට බඳුන්ව තිබේ.
 
 කෙසේ වෙතත් විස්සයි විස්ස කණ්ඩායමට ලසිත් මාලිංග අවශ්‍යම ක‍්‍රීඩකයකු බවත් ඔහුගේ නායකත්වය යටතේ කණ්ඩායම එක දිගට පරාජය වීම හේතුවෙන් නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉන්දියානු සංචාරයෙන් අනතුරුව ගැනීමට නියමිත බවත් ක‍්‍රිකට් ප‍්‍රධානියකුගෙන් කළ විමසීමකදී පැවසීය. ‘‘ලසිත් මාලිංග දක්ෂ ක‍්‍රීඩකයෙක්. නමුත්
 
 ඔහුගේ නායකත්වය යටතේ ගොඩක් පරාජයන් ලබලා තියෙනවා. ඒ නිසා ඉන්දියානු සංචාරයෙන් පස්සෙ ලෝක කුසලානට යන ස්ථිර නායකයකු ගැන බලන්න වේවි. ’’
 
 ලසිත් මාලිංග නායකත්වය ලබාදී ඇති විස්සයි විස්ස තරග 19 කින් හතක් ජයගෙන තරග 11 ක් පරාජය වී තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන්ව ඇත. නමුත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල ජය ගෙන ඇති තරග හතෙන් හයක්ම 2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනූ අවධියේ වූද මෑත කාලයේදී මාලිංගගේ නායකත්වයෙන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි. ඒ තරගයද මාලිංග තනි අතින් ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ නවසීලන්තයට එරෙහිව පිට පිටම පන්දු හතරකදී කඩුලූ හතරක් දවා ගනිමිනි.
 
 ශ‍්‍රී ලංකාවේ අසාර්ථකම විස්සයි විස්ස නායකයා වශයෙන් සටහන් වන්නේ තිසර පෙරේරාය. ඔහු තරග නවයකට නායකත්වය දී ඒ සියලූ තරග පරාජය වී ඇත. කෙසේ වෙතත් විස්සයි විස්ස නායකත්වය සම්බන්ධයෙන් දසුන් ශානකගේ නමද මාතෘකාවට බඳුන්ව තිබුණද ඉන්දියානු සංචාරයෙන් පසුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
 
 දසුන් ශානක පාකිස්තානයේදී ශ‍්‍රී ලංකා පිල 3-0 කින් ජයග‍්‍රහණය කරවීම සහ මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙන බී. පී. එල්. තරගාවලියේදීද කණ්ඩායම් නායකයකු වශයෙන් ඔහු දක්වන දක්ෂතාවද ක‍්‍රිකට් ප‍්‍රධානීන්ගේ අවධානයට ලක්ව තිබේ.
 
 ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුන සඳහා ඉන්දියානු ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා සහභාගි නොවීමද ශ‍්‍රී ලංකාවට තරමක අස්වැසිල්ලක් ගෙන දෙන කරුණක් වී තිබේ. ඔහු බොහෝ අවස්ථාවලදී ශ‍්‍රී ලංකාවට එරෙහිව සාර්ථකත්වයට පත්ව ඇති ක‍්‍රීඩකයෙකි. නමුත් විරාට් කෝලි ප‍්‍රමුඛ ඉන්දියානු සංචිතයට පහර දීමට ලසිත් මාලිංග, තේරීම් කමිටුව සහ නව පුහුණුකරු මිකී ආතර් එක්ව සැලසුම් සකස් කරමින් මේ දිනවල පුහුණුවීම් අරඹා තිබේ. ඒ අනුව සැලසුම් සාර්ථක වුවහොත් මාලිංගගේ නායකත්වයද ස්ථිර වනු ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top