අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රාජිත ගොනු කළ මෝසම ඉවත් කර ගනී
Thursday, 26 December 2019 - 15:53 | Views - 216

තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ ගොනු කළ මෝසම ඉවත් කරගෙන තිබෙනවා.
ඒ, නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින්.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මේ බව තහවුරු කරනු ලැබුවා.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත් වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ජා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේ පෙරේදා දිනයේයි.
නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තුව නිකුත් කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය විසින්.
එහෙත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය 19 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
පසුව ඔහු දෙවන වරටත් ප්‍රතිශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළ අතර පසුගිය 23 වන දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ මේ මස 30 වනදා අදාල ඇප අයදුම්පත සලකා බලන බවයි.
එමෙන්ම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට මේ වනවිට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
Share This Article