සිංහල රජුගේ අන්තඃපුර බිසවකට පෙම් බැඳි ලංකාවේ ප්‍රථම ලන්දේසි ආණ්ඩුකාරවරයාට අත් වූ ඉරණම
Thursday, 04 July 2019 - 9:05 | Views - 1,604
ස්‌ථිර ආලය ආදරය හමුවේ කිසිදු ජාති, ආගම්, දුප්පත් පෝසත් හෝ කුල මල භේදයක්‌ නැත. ලංකා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද මෙවැනි ආදර අන්දර රාශියකි. චන්ඩාල දියණියක නිසා, ගැමුණු රජ පුත්, සාලිය කුමාරයා මෙන්ම, ඇමරිකන් නිළියකු වූ බෙසී වැලීස්‌ සිම්ප්සන් ආර්යාව නිසා එංගලන්තයේ අනාගත කිරුළට හිමිකම් කී එඩ්වඩ් කුමාරයා සිහසුනට පිටුපාද්දී....., අපේ රටේ ද 'කපුරු මලේ සුවඳට වැනසුණු බඹරෙකුගේ ආදර අන්දරයක ශෝකාන්තයක්‌ ගැන කියෑවෙන්නේ, ශ්‍රී ලංකාදීශ්වර...' ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් හා බැඳෙමින්ය.

එතුමන්ගේ රාජ සභාවේ සිටි ප්‍රංශ ජාතික සම්භවයක්‌ ඇති දස්‌කොන් (Gascoin) අධිකාරම්වරයා, දංගෙඩියට හිස පූජා කළේ ප්‍රමිලා නම් වූ, රජ බිසව සමග පැවති (අනියම්) ආදර සම්බන්තාවයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ය. ඒ අදින් වසර 295 කට පමණ පෙරය.

ලංකාවේ සිදුවුණ, දස්‌කොන්-ප්‍රමිලා ආදර අන්දරය මේ වනවිට ප්‍රංශ සාහිත්‍යයට ද එක්‌ වී හමාර ය. එලෙසින්ම ලන්දේසි යුද සෙන්පතියකු සහ සිංහල රජ බිසවක්‌ අතර ඇති වූ ආදර සබඳතාවයක ප්‍රතිඵලය වශයෙන්, ඔහු ද හිස්‌ ගැසුම් කෑ පුවතක තොරතුරු හෙළි වන්නේ නෙදර්ලන්තයේ, හෙග් නගර ලේඛනාගාරයේ (Algemeen Rijksarcheif) යටත් විජිත ලේඛන අංශයේ, (Kolonical Archief), තිබෙනවා යයි කියන, (රහස්‍ය) වාර්තාවකිනි. මෙය ඩැග් රෙජිස්‌ටර් නමින් ද හඳුන්වයි. මෙම පෙම් පුවත හඳුන්වන්නේ, කොස්‌ටර්-රියුපා නමින් ය.

මේ කාල වකවානුව වනවිට අප රට පෘතුගීසි හෙවත් පරංගි ආක්‍රමණයට ලක්‌ව තිබූ අතර, රට පාලනය කළේ, දෙවන රාජසිංහ රජතුමා (ක්‍රි:ව(1635-1687) ය.

පරංගීන්, මුහුදුබඩ හෙවත් පහත රට ප්‍රදේශ පාලනය කරමින් කන්ද උඩරට රාජ්‍යයට ද බලපෑම් එල්ල කරමින් සිටිය හ. පරංගි ආක්‍රමණවලින් රට බේරා ගැනීමට රජතුමා උදව් උපකාර ඉල්ලා සිටියේ, මේ වනවිටත් ලංකාවට පැමිණ සිටි ඕලන්ද හෙවත් ලන්දේසීන් ගෙනි. රජතුමා, පෘතුගීසීන්ට, විරුද්ධව ලන්දේසීන් ගෙන් ආධාර බලාපොරොත්තු වූයේ, මේ වනවිට පෘතුගීසීන්, ලන්දේසීන්ගේ ද පරම සතුරෙකුව සිටි නිසා ය.

මේ කර්තව්‍යය සඳහා, රජතුමා, ලන්දේසීන් සමග එකඟතා ගිවිසුමක්‌ 1638.05.23 දින අත්සන් කරන ලදී. ලංකා රජය වෙනුවෙන්, දෙවන රාජසිංහ රජතුමා ද, අනෙක්‌ පාර්ශවය වෙනුවෙන්, පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ, (Dutch East India Company) ඕලන්ද ජාතික අද්මිරාල් ඇබට්‌ වෙස්‌ටර්වෝල්ඩ් සහ එම නාවික හමුදාවේ දෙවන අණදෙන නිලධාරියා අත්සන් කළ අතර, එය හැඳින්වූයේ, උඩරට-වෙස්‌ටර්වෝල්ඩ් ගිවිසුම නමින් ය.

දෙවන අණදෙන නිලධාරියා නමින්, විලෙන් ඡේකබ්සන් කොස්‌ටර් (Willem Jacobszoon Coster) ය. ඉපදුනේ, 1590 වසරේ දී, උතුරු ඕලන්දයේ, ආකර්ස්‌ලුට්‌ (Akersloot) නගරයේ ය. ඕලන්ද හෙවත් ලන්දේසි ජාතිකයකු වූ ඔහු, වයස අවුරුදු 17 දී හෙවත් 1609 දී ඕලන්ද නාවික හමුදාවට බැඳුණේ ය. කාගෙත් සිත් ඇද බැඳ ගන්නා සුළු මනා රූ සපුවකින් යුත් ඔහු කඩවසම් මෙන්ම නිර්භීත යුද සෙබළකු ද විය. පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම සහ කන්ද උඩරට රාජ්‍යය සමග කරනු ලබන සාකච්ඡා ගනුදෙනු කාර්යයන් සඳහා ඕලන්ද රජයේ තානාපති වශයෙන් පත් කළේ, කොස්‌ටර් ය.
එමෙන්ම ලංකාවෙන් පෘතුගීසීන් පන්නා හැරීමේ කාර්ය, භාර වූයේ ද මෙම යුද සෙනෙවියාට ය. එම නිසා ඔහුට වරින් වර මහනුවරට ගොස්‌ රජතුමා බැහැ දැකීමට සිදු විය. 1640 මාර්තු 13 වැනි දින ඔහු ලංකාවේ පළවෙනි ඕලන්ද ආණ්‌ඩුකාරවරයා (1st Governor of Zeylan) වශයෙන් පත්වීම් ලැබී ය. කෝස්‌ටර් විවාහකයෙක්‌ වූ අතර, ඔහුගේ බිරිඳ ජොහානා සෙන්ස්‌ ය. ඇය ජීවත් වූයේ ඕලන්දයේ ය.

රජතුමා හමුවීමට කවුරු පැමිණිය ද එතුමා ගෙන් දිනයක්‌ සහ වෙලාවක්‌ ලැබෙන තෙක්‌ රැඳී සිටිය යුතුය. එය සමහර විට දිනක්‌ දෙකක්‌ හෝ සති ගණනක්‌ වෙන්නට ද ඉඩ ඇත. කෙසේ වුවද එලෙස පැමිණෙන විදේශ රාජකීය අමුත්තන් සඳහා රජ මාළිගාවට නුදුරෙන් රාජකීය අමුත්තන්ගේ නවාතැන් පොළක්‌ රමණීය භූමි භාගයක ඉදිකර තිබුණේය. ඔවුන්ට කෑම බීම පහසුකම් සැපවූයේ, මාළිගාවෙන් ය.

මෙයට තරමක්‌ නුදුරෙන් පිහිටියේ, රජතුමාගේ අන්තඃපුර මාළිගාව යි. මෙම පෙදෙස පිටස්‌තරයන්ට තහනම් ප්‍රදේශයක්‌ වුව ද, විදේශ රාජකීය අමුත්තන්ට එය එතරම් බල නොපෑ බව කියති. කෙසේ වුව ද කොස්‌ටර් නම් වූ ඕලන්ද ජාතික රාජකීය අමුත්තා ද මාළිගා භූමියේ සැරිසැරුවේ, තිබෙන නිදහස උපරිම ප්‍රයෝජනයට ගනිමින් ය.

එසේ සැරිසරණ අවස්‌ථා කිහිපයකදීම ඔහුගේ නෙත් ගැටුණේ අන්තඃපුර මාළිගාවේ සිට තමන්ට නෙතඟ බැලුන් හෙලන සුරූපි සුන්දර ලලනාව කි. ඇය රජතුමාගේ යකඩ දෝළියක බව ඔහුට වැටහුනි. යකඩ දෝළියක සමග කතා කිරීම හෝ ඉඟිබිඟි පෑම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බව ද ඔහු දැන සිටියේ ය. කෙමෙන් කෙමෙන් දෙදෙනා නොදැනුවත්වම ඇරඹුණේ අසම්මත රහසිගත ප්‍රේමයකි. එය කෙතරම් දුරදිග ගියේ ද යත්, කොස්‌ටර් බොහෝවිට කාලය ගත කළේ, කන්ද උඩරට ය. මෙම සම්බන්ධයට මාළිගාවේ අනෙකුත් අන්තඃපුර බිසෝවරුන් ගෙන් මෙන්ම, දැසි දස්‌සන්ගෙන් ද සහයෝගය ලද අතර, ඔවුන් දෙදෙනා රහසිගතව හමු වූහ.

මේ අතර රජතුමාට යකඩ දෝළියක සහ කොස්‌ටර් අතර පවතින අනියම් ඇසුර ගැන කනින් කොනින් අසන්නට ලැබුණ ද ඔහු ඒ ගැන කලබල වූයේ නැත. එහෙත් රහසිගතව ඒ ගැන සොයා බැලු අතර, දැන ගන්නට ලැබුණේ, 'රූපා' නම් යකඩ දෝළිය සමග මෙම සබඳතාවය ඇති බව යි. (ලන්දේසි ලේඛනයේ ඇය හඳුන්වා ඇත්තේ, 'රියුපා' නමින්.) මෙම සම්බන්ධය කොතෙක්‌ දුර දිග ගියේ ද යත්, ඔවුන් දෙදෙනා රහසිගතව පලා යැමට ද පිඹුරු පත් සකස්‌ කළහ.

කෙසේ වුව ද කොස්‌ටර් යම් තරමකින් රජතුමාගේ සිත දිනා ගත් පුද්ගලයෙක්‌ විය. සාකච්ඡා අවසානයේ ඔහුට නොයෙක්‌ තෑගි තුටු පඬුරු ප්‍රදානය කිරීමට ද රජතුමා අමතක කළේ නැත. මෙසේ දෙන ලද ත්‍යාගයන් අතර, රන් මාලයක්‌ ද විය.

එකඟතා ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක්‌ වූයේ, ගාල්ල බලකොටුවෙන් පෘතුගීසින් පන්නා හැරීම ය. ගිවිසුමට අනුව, ගාල්ලෙන් පෘතුගීසීන් පන්නා දැමූ ලන්දේසීන්, මේ සඳහා වැය වූ මුදල ගෙවන ලෙස රජතුමාට දැනුම් දුන්නේය. එම මුදල ගෙවීමට තමන් එකඟ බවත්, එය ගෙවන්නට නම්, මේ වනවිට ලන්දේසීන් භාරයේ ඇති මඩකළපුව බලකොටුව තමන්ට පවරා දිය යුතු බවට රජතුමා කොන්දේසියක්‌ ඉදිරිපත් කරමින්, එතෙක්‌ මුදල් ගෙවීම ප්‍රතික්‍ෂේප කළේය.

මෙම ගැටලුව නිරාකරණය කරගැනීමට ලන්දේසි හමුදාවේ තානාපති වශයෙන්, ගාල්ලේ සිට මහනුවරට පැමිණියේ, කොස්‌ටර් ප්‍රධාන නියෝජිත පිරිසකි. 1640 අගෝස්‌තු 16 වැනි දින ඉහත කරුණට අදාලව පැවැත් වූ සාකච්ඡාව අසාර්ථක විය. මෙයට ප්‍රධාන වශයෙන් බලපෑවේ කොස්‌ටර් විසින් වරින් වර ඉදිරිපත් කළ අසාධාරණ කොන්දේසි ය. යුද්ධ කිරීමේ අයිතිය අනුව, බලකොටුවක සිට, ඕලන්ද කාලතුවක්‌කුවකින් තබන උණ්‌ඩයක්‌ ළඟා විය හැකි අවසන් දුර දක්‌වා, රට අභ්‍යන්තරයෙහි තිබෙන ගම්මාන ලන්දේසීන්ට පවරා දිය යුතුය. එහි ප්‍රධාන කොන්දේසිය විය.

මෙම කොන්දේසියට රජතුමාටත් පෙර, විරුද්ධ වූයේ කන්ද උඩරට රාජ්‍යයේ අදිකාරම්වරු සිව් දෙනෙකි. මෙයින් ඉමහත් කෝපයට පත්, කොස්‌ටර් රජතුමා ඉදිරිපිටදීම නොසරුප් වදනින් කෑ ගසා, එතුමා මෙයට පෙර ඔහුට තිළිණ කළ රන් මාලය ගලවා ඉහත කී අදිකාරම්වරයකුගේ දෙපා මුලට දමා ගැසුවේ රජතුමාට ද අගෞරව කරමින් ය. ඔහුගේ අසංවර හැසිරීමෙන් රජතුමා දැඩි ලෙස කෝපයට පත් වුණත්, එය මැඬපවත්වා ගත් එතුමා කොස්‌ටර් සංසුන් කර, ගමනට සමු දෙමින් කියා සිටියේ, ඔවුන්ගේ වැඩි ආරක්‍ෂාව සඳහා, බදුල්ලේ දී, සෙනෙවියකු සමග සිංහල හේවායන් 500ක ගෙන් යුතු සේනාවක්‌ ද ලබා දෙන බව ය. රජතුමා සුපුරුදු පරිදි ඔහුට තිළිණයක්‌ ද ප්‍රදානය කළේය.

ඒ කෙසේ වුවද කොස්‌ටර්ගේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් රජතුමා පමණක්‌ නොව, සමහර ඕලන්ද නිලධාරීන් ද සිටියේ කලකිරීමෙන් ය. බුද්ධාගම වැළඳ ගත් ක්‍රිස්‌තියානි පූජකවරයෙකු සතු වූ, දේපොළ පැහැර ගැනීමක්‌ සම්බන්ධයෙන් කොස්‌ටර් ගෙන් ප්‍රශ්න කළ බවක්‌ ඩැග් රෙජිස්‌ටර් වාර්තාවේ සඳහන් බව ද කියයි.

මේ වනවිට කොස්‌ටර් සහ ඔහුගේ අනියම් පෙම්වතිය වූ, රියුපා කතිකා කර ගෙන සිටියේ, රහසින් පලා යාමට ය. රජ මාළිගාවේ කිහිප දෙනෙකුගේ ද සහයෝගයෙන් යකඩ දෝළියට මාළිගාවෙන් පලා යාමට හැකි විය. පෙර කථිකා කර ගත් පරිදි, කොස්‌ටර් සහ පිරිස ප්‍රසිද්ධ මාර්ගයේ ගමන් කළ අතර, අනියම් පෙම්වතිය ඇතුළු අනෙක්‌ පිරිස වෙනත් අප්‍රකට මාර්ගයකින් මඩකළපුව බලා පිටත් විය. එහෙත් මෙම පලායාම දෙවන රාජසිංහ රජතුමාට රහසක්‌ නොවුනාක්‌ මෙන්ම, ඔහු මේ ගැන කලබල වූයේ ද නැත. එහෙත් ඔහු ඉහත කී අප්‍රකට මාර්ගය ඔස්‌සේ රූපා ඇතුළු පිරිසට නොදැනෙන සේ තම සේනාංකයක්‌ රහසිගතව පිටත්කර හැරියේ ය. රජතුමා පොරෙන්දු වූ පරිදි, බදුල්ලේ දී සෙනෙවියෙකුගේ ප්‍රධානත්වයෙන් 500 ක ගෙන් යුතු පිරිසක්‌, කොස්‌ටර් ඇතුළු ලන්දේසි නියෝජිත පිරිසගේ ආරක්‍ෂාවට එකතු වූහ.

1640 අගෝස්‌තු මස 21 වැනි දින, රාත්‍රිය ගත කිරීමට ඔවුන් කඳවුරු බැන්දේ, ඌව වෙල්ලස්‌ස බින්තැන්නේ, නිල්ගල ග්‍රාමයේ ය. කොස්‌ටර් තමාට බීමට වහාම එළකිරි සපයන ලෙස, බදුල්ලේ දී එකතු වුන සිංහල යුද මුලාදෑනි තැනට නියෝග කළේය. එහෙත් මේ හදිසියේම කිරි සොයා ගැනීමට නොහැකි බවත්, හැකි ඉක්‌මණින්ම සොයා දීමට කටයුතු කරන බවත් සෙනෙවි තැන කොස්‌ටර් හමුවේ කියා සිටියේ ය. මෙයින් කෝපයට පත් ඕලන්ද ආණ්‌ඩුකාරවරයා, තම අත වූ බස්‌තමෙන් සෙනෙවියාගේ පපුවට පහරක්‌ එල්ල කළේය.

බලාපොරොත්තු නොවූ මේ හදිසි පහර දීමෙන් සෙනෙවියා කෑගසා ගෙන බිම ඇද වැටුණු අතර, සිද්ධියෙන් කුපිත වූ, සිංහල හමුදාව ඕලන්ද හමුදාවට එළව එළවා පහර දුන්හ. කොස්‌ටර් සිය දිවි බේරා ගැනීම සඳහා අසල තිබුණ නිවසක්‌ කරා දිව යත් දී, සිංහල හේවායෙකු විසින් දමා ගසන ලද හෙල්ලයක්‌ වැදී ඔහු බිම ඇද වැටුණේ ය. ඔහු වටකර ගත් පිරිස ඔහුගේ හිස, කඳින් වෙන් කළේය. මේ සිද්ධිය අවසන් වන විට කිසිදු සිංහල සෙබළෙකුට හානියක්‌ සිදු නොවූ අතර, කොස්‌ටර්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ඇතුළු ඕලන්ද ආරක්‍ෂක භටයින් තිදෙනෙක්‌ ද, කාපීරි සෙබළුන් කිහිප දෙනෙක්‌ ද එම ස්‌ථානයේම මිය ගිය හ. කොස්‌ටර්ට මෙවන් අකල් මරණයක්‌ හිමි වූයේ, ඔහුගේ අඥාන හැසිරීම ය.

කොස්‌ටර්ගේ උපදෙස්‌ පරිදි වෙනත් රහස්‌ මාර්ගයකින් මඩකළපුවට කැටුව යමින් සිටි රූපා (රියුපා) ඇතුළු පිරිස ද අල්ලා ගත් රජතුමාගේ සේනාව, නැවතත් ඔවුන් මහනුවර රජ මාළිගාවට කැඳවා ගෙන පැමිණිය හ.

මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රජතුමා, එවකට මඩකළපුව බලකොටුව භාරව සිටි ලන්දේසි අණදෙන නිලධාරියා වූ, ජෑන් තිසන් සහ ඕලන්දයේ මෙරට භාර ලේකම්වරයා වූ, ඡේ. ටජසන් වෙත හසුන් පත් යොමු කරමින්, සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටියේ ය. එහි දී එතුමා වැඩිදුරටත් කියා සිටියේ, විශේෂයෙන්ම කොස්‌ටර්ගේ ක්‍ෂණික කෝපය නිසා මෙය අහම්බයෙන් සිදු වූ ගැටුමක්‌ බවත් මෙයට තමන්ගේ කිසිදු සබඳතාවයක්‌ නැති බවත් ය. එහෙත් මෙම සිද්ධිය, මඩකළපුව, ගාල්ල, මීගමුව, කල්පිටිය වැනි ලන්දේසි බලකොටු මෙන් ම පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමට (Vereenigde Oost-Indische Compagnie) දැඩි බලපෑමක්‌ එල්ල කළ සිද්ධියක්‌ විය.

එය කොතරම් බලපෑවේ ද යත්, සමාගමේ බලධාරීන් තම මව් රටට දන්වා යෑව්වේ, මෙයට පළි ගැනීමන් වශයෙන් රජතුමා සමඟ යුද වැදීමට බතාවියෙන් හමුදා සේනාංක කිහිපයක්‌ එවන මෙන් ය. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට ඕලන්ද රජය පියවර ගෙන නැත. එසේවීමට ප්‍රධාන හේතුව වූයේ, කොස්‌ටර්ගේ ද හැසිරීම් රටාව ගැන එම රජය ද පැහැදීමක්‌ නොවීම යි.

කොස්‌ටර්ගේ මරණයෙන් සති කිහිපයකට පසු ඔහුගේ බිරිඳ වූ ජොහානා, ඕලන්දයේ (වර්තමාන නෙදර්ලන්තය) සිට මෙරටට පැමිණි අතර, එසේ පැමිණියේ සිය සැමියා ඝාතනය වූ බවක්‌ නොදැන ය. ඇය මෙරටට පැමිණියේ සිය සැමියා සමඟ යහපත් පවුල් දිවියක්‌ ගෙවීමේ අපේක්‍ෂාවෙන් ය. එහෙත් සිද්ධිය කන වැකුණු පසු ඇගේ බලාපොරොත්තු සුං විය.

මේ සිදුවීම අහම්බයක්‌ සේ පෙනුන ද, මෙය රජතුමාගේම සැලැසුම කිසිවෙකුටත් සැකයක්‌ ඇති නොවන පරිදි කොස්‌ටර් ඝාතනය කිරීමට රජතුමා උපදෙස්‌ දී සිටියේ, සිය අන්තඃපුර බිසවක වූ රූපාගේ ආදරය දිනා ගැනීමට කොස්‌ටර් සමත්වීම නිසාම පමණක්‌ නොව, ඔහුගේ උඬගුකම, රජතුමාට අපහාස වන අන්දමින් ඔහු ඉදිරියේම අවිනීත ලෙස හැසිරීම, වෙස්‌ටර්වෝල්ඩ් ගිවිසුමට පටහැනිව කටයුතු කිරීම වැනි කරුණු ද විය.

"දිවයින"
එච්. එම්. ජයන්ත විඡේරත්න


Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්. ඔහු නිරූපණයෙන්...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top