මේ දවස්වල පැතිරෙණ උණ - ඩෙංගු - ඉන්ෆ්ලුවන්සා - කොවිඩ් ?
Friday, 19 May 2023 - 11:09 | Views - 266

මේ දිනවල අධික ලෙස පැතිර යන උණ රෝග කීපයක් ම තිබේ. මීට පෙර දරුණු ලෙස පැතිරුණු කොවිඞ් රෝගය නැවත පැතිර යන බවත්, ඒ අතරම මාරාන්තික ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා වයිරස උණ රෝගයත් පැතිර යන බවට ද වාර්තා වෙයි.  මේ නිසා කුඩා දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට උණක් සෑදුණු විට මේ කුමන රෝගයක් නිසා සෑදෙන උණක්දැයි වැඩිහිටියෝ කලබල වෙති. ඒ නිසා පැතිර යන එම උණ වර්ග පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. 

ඉන්ෆ්ලුවන්සා උණ 

අද පැතිර යන උණ වර්ගවලින් බහුලවම දක්නට ලැබෙන්නේ ඉන්ෆ්ලුවන්සා උණයි. ඉන්ෆ්ලුවන්සා යනු එක් වයිරසයක් නොවේ. මෙහි ප්‍රභේද දෙසිය ගණනක් තිබේ. සෙම්ප්‍රතිශ්‍යා උණ එම ප්‍රභේද සියල්ලේම ප්‍රධාන රෝග ලක්ෂණයන් වේ.

සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යා උණ නිතර සෑදෙන්නේ කුඩා දරුවන්ටය. ඒ දරුවා පාසල්, පෙර පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින විට බෝවීමෙනි. මෙම ප්‍රතිශ්‍යා උණ කුඩා දරුවන්ට සති 2-3 න් නැවත නැවත සෑදෙයි.

වයිරස් උණ දරුවන් අතර විශේෂයෙන් පැතිර යාමට හේතු තිබේ. පසුගිය වසර දෙකක පමණ කාලයක් කොවිඞ් වසංගතය පැතිරීම නිසා දරුවෝ මෙන්ම වැඩිහිටියෝද බොහෝ පරෙස්සම් වූහ. ඔවුන්ට සමාජ ඇසුරක් නොපැවතුණි. ඒ නිසා එම කාලයේ කොවිඞ් රෝගය පැතිර යාම මිස සෙම්ප්‍රතිශ්‍යා උණ සහිත ඉන්ෆ්ලුවෙන්සා වයිරස රෝග සෑදීමක් දක්නට නොලැබිණි. එහෙත් දැන් දරුවෝ මෙන්ම වැඩිහිටියෝද පාසල් යාම, රැකියා සඳහා යාම, එදිනෙදා අවශ්‍යතා සඳහා යාම නිසා සමාජයේ ගැවසෙති. මේ නිසා වර්තමානයේ නිතර වයිරස් උණ පැතිර යාම දක්නට ලැබේ.

වැඩිපුරම හැදෙන්නේ කාටද? 

පෙර පාසල්, දිවා සුරැකුම් සහ පාසල් යාමට පටන් ගත් කුඩා දරුවන්ට එනම් වයස අවුරුදු එකේ සිට වයස අවුරුදුු 5-6 කාලයේදී වසරකට 5-6 වරක් උණ සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙයි. කුඩා වියේදී එසේ වයිරස් උණ සෑදීමෙන් ඒවාට එරෙහිව ප්‍රතිශක්තිව ඇති වේ. ඉහතින් සඳහන් කළ පරිදි ශ්වසන මාර්ග ආශ්‍රිතව වයිරස් වර්ග දෙසිය ගණනක් පවතින බැවින් කුඩා වියේදී නිතර සෑදෙන එම වයිරස් නිසා ස්වාභාවිකවම කුඩා දරුවන්ට ප්‍රතිශක්තිය ගෙන දෙයි. ඒ නිසා කුඩා වියේ නිතර සෙම්ප්‍රතිශ්‍යා උණ සෑදීම ගැන මවුවරු බිය විය යුතු නැත. එසේ ප්‍රතිශ්‍යා උණ සෑදීම වළක්වා ගැනීමට විටමින් ආදිය දීමට සැරසෙන මවුවරු බොහෝ වෙති. එහෙත් කුඩා වියේදී එසේ සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නට ඉඩ දිය යුතුය. මේවායෙන් වැළකෙන්නට විටමින් ආදිය ගැනීමෙන් පලක් නොවේ. කුඩා වියේදී එසේ නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යා උණ සෑදී වයස අවුරුදු 5-6 වන විට එසේ සෑදීම  අඩුවෙයි.
මේ කාලයේ උණ සෙම්ප්‍රතිශ්‍යාව නිතර පැතිර යාමට ප්‍රධාන හේතුවක් වන්නේ පසුගිය වසර දෙකක කාලයේ මෙවැනි වයිරස රෝග දරුවන්ට නොසෑදීම ය. දැන් වැඩිපුර හැදෙන්නට පටන්ගෙන තිබේ. 

රෝග ලක්ෂණ

ප්‍රධාන රෝග ලක්ෂණය තදට උණ සෑදීමයි. තදින්ම උණ දින 1-2 ක් පවතී. මෙම උණ අඩු කර ගැනීමට පැරසිටමොල් වයස හා බර අනුව ලබා දුන්නද අඩු වන්නේ නැත. පැරසිටමෝල්වලට පැය 6 ක් උණ අඩු වී තිබෙන්නේ නැති බව සැවොම දැන ගැනීම ඉතා වැදගත් වෙයි. එසේ පවසන්නේ පැය 2-3 න් නැවත උණ තදට ආවත් පැය 6 කට පසුව මිස පැරසිටමෝල් නොදිය යුතුයි.

මෙම වයිරස් උණ අඩුවන්නේ ටිකෙන් ටික ක්‍රමයෙනි. එහෙත් උණ අඩු කරන අනෙකුත් කිසිදු ඖෂධයක් දීම නොකළ යුතුයි. මේ කාලයේ ඩෙංගු උණත් පැතිර යන නිසා එය භයානකය.

* සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවෙයි.
* සෙම නිසා උගුර රිදෙන්නට පටන් ගනී.

මේ වයිරස් උණට ආසාදනය වන්නේ නාසය හා උගුර කණයි. බහුලව දක්නට ලැබෙන්නේ උගුර වේදනාවයි. කන කැක්කුමත් බොහෝ විට දක්නට ලැබේ.
මෙම වයිරස් උණට පෙණහලු ආසාදනය වන්නේ අඩුවෙනි. 

වයිරසය බලපාන්නේ නාසය හා එම මාර්ගය, උගුර කන ආදියටයි. 

* කැස්ස ඇති වේ.
* හිස වේදනාව
*ඇස් යට වේදනාව
* නාසය බරවීම
*ඇඟපත වේදනාව
* මලානික වේ. ක්‍රියාශීලී බව අඩුවෙයි.
* කෑම අරුචිය

මෙම ඉන්ෆ්ලුවන්සා වයිරසයේ බහුලවම දක්නට ලැබෙන්නේ උණ හා සෙම්ප්‍රතිශ්‍යාවයි. 

මේ කාලයේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා වයිරසයට උණ තිබෙන දින ගණන වැඩිය. ඒ සමගම රෝගී දරුවාට ඇඟපත වේදනාව, මලානික බව, ද විශේෂයෙන් දක්නට ලැබේ.

ඩෙංගු උණ

මේ දිනවල අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගයද ශීඝ්‍ර ලෙස පැතිර යයි. සතියකට ඩෙංගු රෝගීන් 2000 ක් පමණ වාර්තා වෙයි. උණ රෝගී පාසල් දරුවන්ගෙන් 25% ක් පමණ ඩෙංගු රෝගයට ගොදුරු වූවන් බවද පැවසිය යුතු වේ.

රෝග ලක්ෂණ

මෙම රෝගයද වයිරස උණකි. ඊඩිස් වර්ගයේ මදුරුවන්ගෙන් රෝගය නිරෝගී අයට වැලඳෙයි. මිනිසාගෙන් මිනිසාට බෝවන්නේ නැත.

රෝග ලක්ෂණ

* තද උණ 
* ඇස් යට වේදනාව තදින්ම ඇති වෙයි.
* ඇඟපත වේදනාවද තදින්ම දැනේ.

සෙම්ප්‍රතිශාව එන්නේ අඩුවෙනි.

මේ කාලයේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා වයිරස උණට තදින්ම උණට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව උගුර වේදනාව ඇති වීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.

ඇතැම් විට වයිරස් ආසාදන සමග  රෝගී දරුවන්ගේ ඇස්වලින් කබ කඳුළු ගැලීමටත් පටන් ගනී. සමහර රෝගීන්ගේ ඇස් රතු වේ. මෙසේ වෙන්නේ සෙම සමග ඇසට නාසයට කඳුළු ග්‍රන්ථියෙන් කඳුළු සාදා වැඩිපුර නාසයට ඒම නිසාය. මෙහිදී සෙම නිසා නාසය අවහිර වේ. එවිට ඇස් රතු වන්නේ නැත. එහෙත් කබ කඳුළු ගලයි. එවිට ඇස නාසය අතර සෙමින් පිරිමදින්න. එසේ කිරීමෙන් කබ කඳුළු ගැලීම නතර වේ. ඇසට බෙහෙත් දැමීමට අවශ්‍ය වන්නේ නැත.

අවධානයෙන් සිටින්න 

ඩෙංගු වයිරසයත් සාමාන්‍ය වයිරසයක් මෙන් රෝගියාට වැලඳී සුවවන රෝගයකි. එහෙත් මෙම වයිරසයට රක්තපාත තත්ත්වය ඇති විය හැකියි. රක්තපාතය අවදානම් වේ. එසේ වීමෙන් රුධිර නාළ ඇතුළත තිබෙන කේශ නාළිකා තුළින් ප්ලාස්මා තරලය පිටතට එයි.

මෙම තත්ත්වයට පත් වුවහොත් රුධිර නාළවලින් රුධිරය පිට වී රෝගියා කම්පන තත්ත්වයට පත් වේ. එසේ පැය ගණනක් තිබුණහොත් ශරීර අවයවවලට හානි විය හැකියි. එනම් වකුගඩු, හෘදය වැනි ප්‍රධාන අවයවවලට එය බරපතළ ලෙස බලපෑම නිසාය. ඒ නිසා ඩෙංගු යැයි හඳුනා ගත් විට රෝගියා රෝහල් ගත කිරීම ඉතාම වැදගත් වේ.

හඳුනා නොගත් වයිරස

ශ්වසන වයිරස අතර හඳුනා නොගත් වයිරසද තිබේ. කලාතුරකින් බැක්ටීරියා නිසා නියුමෝනියාව සෑදීමට පුළුවනි.

නියුමෝනියාවේ රෝග ලක්ෂණ 

* තද කැස්ස
* තද උණ
* හුස්ම ගැනීමේ වේගය වැඩිවීම
* කුඩා දරුවෙක් නම් පපුව ඇතුළට වළ ගැසීම වැඩියෙන් දක්නට ලැබේ.

නියුමෝනියාව සෑදෙන විට මුලින්ම ඇති වන්නේ සෙම වැඩි වීමයි. සෙම කැස්ස ඇති වේ. ඉන්පසු තදින් සැදෙයි. උණට බෙහෙත් ගත්තද උණ අඩුවන්නේ නැත. මෙම රෝගයට ප්‍රතිකාර ඉතාම අවශ්‍යය. ප්‍රතිජීවක දිය යුතු  වේ.

එහෙත් බහුලව සෑදෙන්නේ මේ කාලයේ ඉබේම සුව වී යන වයිරස රෝගයි. එහෙත් දින දෙකක් පමණ තදින් උණ තිබේ නම් වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම සුදුසු වේ. 

ප්‍රතිකාර

උණ සෑදුණු ඕනෑම අවස්ථාවක ඊට හේතුවන වයිරස ආසාදනය හඳුනා ගන්නාතෙක් වයස හා බර අනුව පැරසිටමෝල් පැය හයකට වරක් දෙන්න.
ලවණ සහිත දියර වැඩිපුර දෙන්න. බර අනුව දිය යුතුයි. එනම් ජීවනී ප්‍රතිකාරයයි.

දරුවා ගැන අවදානයෙන් සිටින්න. අවදානම් ලක්ෂණ බලන්න.

අවදානම් ලක්ෂණ

* උණ දින දෙකකට වඩා තිබීම
* කෑම හෝ මවුකිරි ප්‍රතික්ෂේප කිරීම
* වමනය
*පාචනය
* මුත්‍ර පිටවීම අඩුවීම
* ක්‍රියාශීලීබව අඩුවීම
* ඇස් අරින්නේ නැතිවීම
* සිරුරේ පලු දැමීම

උණ සමග ඉහත සඳහන් හෝ වෙනත් විශේෂ ලක්ෂණ පෙනෙයි නම් වෛද්‍ය උපදෙස් ගන්න. මෙහිදී තද උණ නම් රෝගී දරුවා පරීක්ෂා කළ පළමු දිනයේම අනෙකුත් පරීක්ෂණ සඳහා යොමු කරයි. ඉන්පසු රෝග ලක්ෂණ අනුව වෛද්‍ය ප්‍රතිකාර පටන් ගනී. අවදානම් ලක්ෂණ තිබේ නම් පමා නොකර වෛද්‍ය උපදෙස් ගන්න.

මේ කාලයේ උණ රෝග කිහිපයක්ම පැතිර යන බැවින් උණට පැරසිටමෝල් දෙමින් නිවසේ තබාගෙන සිටීමෙන් ජීවිත හානි පවා දක්නට ලැබේ. බොහෝ ජීවිත හානි සිදුවන්නේ රෝහල්ගතවීම ප්‍රමාද වීම නිසාය.

ප්‍රතිජීවක හිතූමතේ දෙන්න එපා

මේ කාලයේ නැවතත් පැතිර යන කොවිඞ් ආසාදනයටත්, ඉන්ෆ්ලුවන්සා වයිරසයටත්, නාසය අවහිර වීම, උණ, සෙම තත්ත්වය ඇති වේ. එවිට රෝගී දරුවාගේ නාසය අවහිර වේ. හුස්ම ගැනීම අපහසුය. වෛද්‍ය උපදෙස් ගැනීමෙන් ඒ සදහා ඖෂධ ලබා දෙයි. එහෙත් ඩෙංගු රෝගයත් පැතිර  යන නිසා ප්‍රතිජීවක දෙන්නේ නැත. එම ඖෂධ අවශ්‍ය නැත. ඊට හේතුව ඉන්ෆ්ලුවන්සා රෝග බහුතරයක් සුළු ප්‍රතිකාර මගින් සුවවන නිසාය. මෙම වයිරසවලට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැත. ඖෂධ දෙන්නේ උණ අඩු කිරීමට පැරසිටමෝල්, නාසය අවහිරවීම වැළැක්විමට ඖෂධ, කැස්සට කෝෆ් සිරප් වැනි දෑය. රෝග ලක්ෂණ අඩු කර ගැනීමට මිස වයිරස රෝගයට ප්‍රතිකාර නැත. ඒවා ඉබේම සුව වේ.

උණ, සෙම තිබෙන විට හිතූමතේ ප්‍රතිජීවක ලබා දීමෙන් ශරීරය තුළ බැක්ටීරියා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී වෙයි. එවිට අත්‍යවශ්‍ය වෙලාවකට ප්‍රතිජීවක ලබා දුන්නද සුවයක් ලබා ගැනීමට නොහැකියි.

මේ කරුණු ඉතා වැදගත් 

උණ සෑදුනොත් පැරසිටමෝල් දෙමින් නිවසේ තබා නොගන්න.

උණ අඩු වූවා කියා දරුවා පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යවන්න එපා. මේ පැතිර යන සෑම උණ වයිරසවලටම විවේකය අත්‍යවශ්‍ය වෙයි. දරුවාට හැකි තරම් ඇඳ විවේකය ලබාදෙන්න. එය ඉතාම වැදගත් වේ. දරුවාට ඖෂධවලට වඩා වැදගත් වන්නේ විවේකය සහ පෝෂණයයි. කෑමට කැමැති සහ පානයට කැමැති පෝෂ්‍යදායී ආහාරපාන ලබා දෙන්න.

දරුවා පාසල් හෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානයට නොයැවීමෙන් සමාජීය වශයෙන් බෝවීමත් වළකියි. එයත් ඉතාම වැදගත් වෙයි.

මේ කාලයේ කොවිඞ් ආසාදනයත් නැවත පැමිණ තිබේ. ඒ නිසා හිතූමතේ ඖෂධ දෙමින් උණ රෝගී දරුවන් නිවසේ තබා නොගන්න. උණක් සෑදුනොත්  අවධානයෙන් සිටින්න. ඩෙංගු රෝගයත් පැතිර යන නිසා දින 1-2කට වඩා තද උණ තිබේ නම් වෛද්‍ය උපදෙස් ගන්න. එවිට වෛද්‍යවරයා රෝගී දරුවාට ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිජීවක, අවශ්‍යද නැද්ද යන්න බලයි. එසේම අවදානම් ලක්ෂණ ගැන බලා අවශ්‍ය නිසි ප්‍රතිකාර සඳහා යොමු කරයි. ඒ නිසා උණ, සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් දින ගණන් බලා නොසිට අවදානම් රෝග ලක්ෂණ තිබේ නම් පමා නොකර වෛද්‍ය උපදෙස් ගන්න.

■ ශිරානි ගල්ලෑල්ල    

උපදෙස් :- 
බොරැල්ල රිජ්වේ ආර්යා 
ළමා රෝහලේ, 
ශ්වසන රෝග පිළිබඳ 
විශේෂඥ වෛද්‍ය 
චන්න ද සිල්වා


Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 274 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top