කණ්ණාඩි රාමු වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙවර්ගයක් දක්නට ලැබෙනවා. ලෝහමය නිමාවක් සහිත රාමු (Metal frames) හා ප්ලාස්ටික් වර්ගවලින් නිමවූ රාමු ඒවා අතර ප්‍රධානයි.
මේවා අතරින් ලෝහමය රාමු භාවිත කිරීමේදී ඒවා නිතර පැලඳ සිටීමේදී සිරුරේ දහඩිය හා දූවිලි සමඟ රාමුවේ ඇති ලෝහ කොටස් ප්‍රතික්‍රියා කොට රාමුවේ මල බැඳීම් හෝ ඔක්සයිඩ ඇතිවන්න පිළිවන්. ඒවා සම සමඟ ප්‍රතික්‍රියා කර සමෙහි සංකූලතා හා දිලීර ආසාදන ඇතිවීමට පුළුවන්.
මේ නිසා ප්ලාස්ටික් රාමු තෝරා ගැනීමේදී එවැනි අපහසුතා ඇති නොවන අතර වර්තමානයේ වයස් භේදයකින් තොරව ප්ලාස්ටික්වලින් නිමවූ සැහැල්ලු රාමු පැලඳීමට පෙලඹී තිබෙනවා.
මුහුණේ ස්වභාවය අනුව කණ්ණාඩි රාමු තෝරා ගන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් මුහුණේ හැඩය අනුව තෝරාගන්නා කණ්ණාඩි රාමුවද වෙනස් විය යුතුයි. සෑම කෙනකුටම එකම මාදිලියේ කණ්ණාඩි වර්ග ගැළපෙන්නේ නැහැ. ඒ අනුව මුහුණේ හැඩය අනුව කණ්ණාඩි උස හා පළල තීරණය වෙනවා. තරමක් මහත මුහුණක් සහිත පුද්ගලයකුට කුඩා රාමුවක් පැලඳීම එතරම් යෝග්‍ය නැහැ.
එසේම කෙට්ටු මුහුණක් සහිත පුද්ගලයකුට ලොකු කණ්ණාඩි රාමුවක් නොගැළපෙන අතර මුහුණට සරිලන සේ කුඩා රාමුවක් පැලඳීම වඩාත් යෝග්‍ය වේ.
මීට අමතරව වයස්ගත වීමත් සමඟ දුර හා ළඟ දෙකම පෙනීම දුර්වල අයකුට කාචයේ ඒ සඳහා අවකාශය ලබාගැනීම සඳහා තරමක් පළල කාචයක් මෙන්ම රාමුවක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.
ඇස් කණ්ණාඩියක් භාවිත කිරීමේදී දැනගත යුතු විශේෂ කරුණු?
නිතරම ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ට ඇතැම් අවස්ථාවලදී ඒවා ගලවා ඉවත් කිරීමට සිදුවෙනවා. මුහුණ සේදීම, ස්නානය වැනි අවස්ථාවලදී ගලවා ඉවත් කිරීමට සිදුවෙනවා. මෙවැනි අවස්ථාවලදී උපැස් යුගල අනාරක්ෂිතව ගලවා එහි කාචය යම් මතුපිටක් මත ස්පර්ශ වන ලෙස තැබීමේදී එහි කාචය සීරීම්වලට ලක්වීමට මෙන්ම දුහුවිලි වැනි අපද්‍රව්‍ය කාචයේ තැවරීමට ඉඩ තිබෙනවා. මේ නිසා හදිසි අවස්ථාවකදී නම් කණ්ණාඩියේ මුහුණත සිරස් අතට සිටින සේ ගලවා තැබිය යුතුයි. එසේත් නැත්නම් කණ්ණාඩිය බාහු දෙකෙන් නවා සම්පූර්ණ උපැස් යුගලම තිරස් අතට තැබිය යුතුයි. වඩාත් සුදුසුම ක්‍රමය තමයි උපැස් යුගල ගලවා සෑම විටම ඒ සඳහා සපයන පෙට්ටියේ ඇති කුඩා තුවායෙන් කාචය පිසදමා පෙට්ටිය තුළ ආරක්ෂිතව තැන්පත් කිරීම.
එසේම උපැස් යුගල කාලයක් පාවිච්චි කිරීමට නම් සතියකට වරක්වත් එහි කාචය හා රාමුව ෂැම්පුවලින් සෝදා එහි කාචය සීරෙන්නට නොදී පිරිසුදු රෙදි කැබැල්ලකින් පිරිසුදු කර ගැනීමත් වැදගත් වේ.
ලෝහමය රාමුවක් සහිත කණ්ණාඩියක් නම් නිතරම පිරිසුදු රෙදි කැබැල්ලකින් එහි රාමුව මෙන්ම කාචය තෙත මාත්තු කිරීම මඟින් මල බැඳීම පාලනය කරගන්න පුළුවන්.
කොපමණ කාලයකින් ඇස් පරීක්ෂා කර ගැනීම සිදුකළ යුතුද?
වයස 5ට අඩු දරුවන් මෙන්ම පාසල් වයසේ අවුරුදු 5 සිට 20 තෙක් වයස් කාණ්ඩයේ දරුවන් ඔවුන්ගේ වර්ධනයත් සමඟ ඇසේ කාචයේ වර්තන අගය ශීඝ්‍රයෙන් වෙනස් වන නිසාම මාස 6කට වරක්වත් ඇස් පරීක්ෂා කොට කාච වෙනස් කරගත යුතුයි.
මීට අමතරව වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් වසර 2කට වරක්වත් ඇස් පරීක්ෂා කිරීම සිදුකර ගත යුතුයි.
අව් කණ්ණාඩි භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු?
අව් කණ්ණාඩි භාවිත කිරීමේ අරමුණ හිරු එළියේ තිබෙන අහිතකර පාරජම්බුල කිරණවලින් ඇසේ අභ්‍යන්තරය ආරක්ෂා කර ගැනීමයි. මේ නිසා ඇස් කණ්ණාඩිය තෝරා ගැනීමේදී සම්පූර්ණ ඇස ආවරණය වන පරිදි පළලින් වැඩි ඒවා මිලදී ගැනීම වැදගත්.
බොහෝ දෙනෙක් විලාසිතාවලට පමණක් සීමාවෙමින් වෙළෙඳපොළේ ඇති අඩු මිලට ගත හැකි අව් කණ්ණාඩි මිලට ගැනීමට පෙලඹී සිටිනවා. ඒවායේ හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ (Ultraviolet) අවශෝෂණය කිරීමේ හැකියාව නොමැති නිසාත්, අව් කණ්ණාඩියක් පැලඳීමේදී ඇසේ කණීනිකාව (Pupil) විශාල වන නිසාත් අහිතකර කිරණ වැඩි වශයෙන් ඇසට ඇතුළුවීම නිසා වැඩි හානියක් ඇසට සිදුවෙන්න පුළුවන්.
මේ නිසා අව් කණ්ණාඩි තෝරා ගැනීමේදී නියමිත ප්‍රමිතිය තිබෙන UV කිරණ අවශෝෂණය කරගත හැකි අව් කණ්ණාඩි මිලදී ගන්නා ස්ථානයෙන්ම පරීක්ෂා කර මිලදී ගැනීම වඩාත් යෝග්‍ය වේ.
සුලක්ඛන ජයවර්ධන
වෛද්‍ය රොෂාන්ත හේවාමද්දුම
MBBS, DLM, MBA, MSC, MCGP, PHD