"අදටත් කලා ක්ෂේත්රය තුල ඉන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසයි" - ශානිකා වනිගසේකර..
වරදක් නැහැ. හොඳින් ඉන්නවා. මේ දවස්වල නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. ඊට අමතරව ඉතින් ගෙදර වැඩ කටයුතු සහ දරුවන්ගේ වැඩකටයුතු කරගෙන ඉන්නවා. ඊට අමතරව රූපවාහිනි වැඩසටහන් කිහිපයකටත් සම්බන්ධ වුණා.
2020 වසර තුළදී ඇති වූ විවිධ ගැටලුකාරී වාතාවරණයන් ඔබට බලපෑවේ කොහොමද?
මෙහෙමයි. කොවිඩ් ගැටලුව මුළු ලෝකයටම බලපාපු දෙයක්. ඒකත් එක්ක සංගීතය තමන්ගේ එකම ආදායම් මාර්ගය කරගත්ත අයට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවුණා. සංගීත ප්‍රසංග නොපැවැත්වීම සහ නව නිර්මාණ කිරීමට මුදල් නොමැති වීම තමයි එයට හේතුව.
කොහොම නමුත් විශේෂයෙන්ම කියන්න ඕනි වෙනත් අවුරුදුවලට වඩා 2020 අවුරුද්දේදී අපි ඉතාම හොඳින් නත්තල සැමරුවා සහ කිසිම ගැටලුවක් නැතිව වෙනදට වඩා හොඳට 2020 අවුරුද්ද කාලා බීලා සාමාන්‍ය විදිහට ගත කළා. ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත විය යුතුයි.
අලුත් නිර්මාණයකට අතගැසුවේ නැද්ද?
ඇත්තටම වෙනස්ම විදිහේ නිර්මාණයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි මේ අවුරුද්ද මුලදී ඒ දේවල් පටන්ගන්න බැරි වෙයි. ඒ නිසා පළමුව මූල්‍යමය තත්ත්වය යහපත් කර ගත යුතුයි. මේ අවුරුද්ද මැදදී අලුත් නිර්මාණයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉදිරියට බලමු ඉතින්.
වේග රිද්ම ගීත පමණද ගායනා කරන්නේ? ශාස්ත්‍රීය ගායනයකට යොමු වීමට අදහසක් නැද්ද?
මාව වේග රිද්මයේ ගීත ගායනා කරන ගායිකාවක් විදිහට තමයි ලේබල් කරලා තියෙන්නේ. ඒ නිසා වේදිකාව තුළදී මට වැඩි වශයෙන් එවැනි ගීත ගායනා කරන්න වෙනවා. මොකද මේක මගේ රැකියාවනේ. ඉතින් ප්‍රේක්ෂකයා මගෙන් ඉල්ලන දේ මා ලබා දිය යුතුයි.
නමුත් ඊට හාත්පසින්ම වෙනස් නිර්මාණ රාශියක් මම කරලා තියෙනවා. ඒවා අහපු අය හොඳ ප්‍රතිචාර පවා ලබාදුන්නා. මේ අවුරුද්දේදී අලුත් වෙනසක් සිදුවේවි. ඉදිරියේදී බලමු ඉතින්.
ඔබ වේදිකාව තුළ යම් වෙනසක් කිරීමට උත්සාහ ගත් කෙනෙක්. ඒ උත්සාහය සාර්ථක වුණා කියලා ඔබ හිතනවද?
ඇත්තටම ඉතින් වෙනසක් කරනවා කියලා මම ලොකු දේවල් කළේ නැහැ. මම අඳින ඇඳුම ඉතාම සංවරව ඇඟ පෙන්වන්නේ නැති ආකාරයට අඳිනවා. බොහෝ වෙලාවට ඩෙනිම් කලිසම සමඟ ජැකට් එකක් අඳිනවා. කොණ්ඩයට ස්කාෆ් එකක්, හැට් එකක් භාවිත කළා. ඒත් එක්ක "ජටා බඳින බෝල කෙල්ල" කියන නමින් පවා වේදිකාව තුළදී මට කතා කරන්න පටන් ගත්තා. ඒ වගේ වේදිකාව තුළ මම කරපු පොඩි පොඩි දේවල් මත සාර්ථක වුණා කියලා මම හිතනවා.
කුඩා වයසින් කලා ක්ෂේත්රයට ආව කෙනෙක් විදිහට මේ තාක් දුර පැමිණි ගමන් මඟ පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
අවුරුදු 6දී තමයි මම මුලින්ම සින්දු කියන්න පටන් ගත්තේ. ඉතින් මේ කලා ගමනට දැන් අවුරුදු 32ක් වෙනවා. ඒ තුළ මම ගොඩක් දේවල් මගේ ජීවිතයට එකතු කර ගත්තා. ලොකු කට්ටක් කලා තමයි මම මේ තැනට ආවේ. ඉතින් කලාව සහ පවුල් ජීවිතය යන දෙකම සමබරව පවත්වාගෙන යෑම ගැන මම හරිම තෘප්තිමත්.
ඔබ සතු ගායන කුසලතාවයෙන් නිසි ප්‍රයෝජනය ලබාගත්තා කියා ඔබ සිතනවාද?
මෙහෙමයි. ඇත්තටම මම කිසිම දෙයකින් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. හැබැයි නිසි ප්‍රයෝජන අරගෙනත් නැහැ කියලා සමහර තැන්වලදී හිතෙනවා. මේ ක්ෂේත්රය තුළ මා ලබාගත් ලොකුම සම්මානය මම "අව්‍යාජ චරිතයක්" කියලා අහපු එකයි. ඒකත් සමඟ මම ගොඩක් දේවල් නැති කරගත් අවස්ථාත් තිබෙනවා. නමුත් ඉතින් ඒ තුළ මා ලබාගත් ප්‍රේක්ෂක ආදරය ඇතියි කියලා මම හිතනවා.
ඔබගේ දුවත් ගායනයට දක්ෂයි. ඇය සමඟ නව නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
අලුත් වැඩක් කරන්න ආසාවක් තියෙනවා. ලොකු දුව මීගමුව ආවේ මරියා විදුහලේ 11 ශේර්ණියේ ඉගෙනුම ලබනවා. මේ වසරේදී ඇය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඉතින් ඇගේ අධ්‍යාපන කටයුතුවලින් පසුව ඇයත් එක්ක අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඇයත් ඔබ වගේම ගායන ක්ෂේත්රයට අවතීර්ණ වනවාට ඔබ කැමැතිද?
මගේ දරුවන් වෘත්තීයමය ගායන ශිල්පීන් වනවාට මම කැමැති නැහැ. මොකද එහෙම වුණොත් කලා ක්ෂේත්රයට පැමිණෙන විවිධ ගැටලු හමුවේ වැඩිපුරම ගෙදර තමයි ඉන්න වෙන්නේ. ඉතින් මාසිකව යම් ස්ථිර මුදලක් ලැබෙන රැකියාවක නිරත වන අතරතුර සංගීතයෙහි නිරත වුණාට කමක් නැහැ. දැන් ඉතින් කධභ ඊභඡඥ හරහා වුණත් තමන්ගේ ගීත නිර්මාණ කරලා දාන්න පුළුවන්නේ.
සැමියා සහ දරුවන් ගැනත් මතක් කරමු?
මගේ හස්බන්ඩ් සජිත්. එයාගේ ගම නුවර. දැන් අපි දෙන්නාගේම වැඩවලට පහසු නිසා මීගමුවේ පදිංචි වෙලා ඉන්නවා.
ලොකු දුව ස්වේතා ඩියෝනිට වයස අවුරුදු 14යි. එයා මේ පාර සාමාන්‍ය පෙළ ලියනවා. දෙවැනියා පුතා ශවින් දූතික. එයාට අවුරුදු 12යි. දැන් එයා 8 වැනි ශේර්ණියේ. තුන්වැනියා ශෙරිල් දිමිත්‍රි එයාට අවුරුදු 10යි. මේ වසරේදී ශිෂ්‍යත්වය කරනවා.
අවසන් වශයෙන් ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
පළමුවෙන්ම ලැබුවා වූ අවුරුද්ද සියලුම දෙනාට නිරෝගීමත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. දෙවැනුව මෙවැනි ගායන හැකියාවක් සහ මෙවැනි විශාල රසික ආදරයක් මට ලබාදීම පිළිබඳව මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ප්‍රේක්ෂක ආදරය නිසා තමයි ශානිකා වනිගසේකර අදටත් කලා ක්ෂේත්රය තුළ රැඳී සිටින්නේ. ඒනිසා ඔයාලටත් ගොඩක් ස්තූතිවන්ත වනවා.
දිනූෂා මනෝරි නිශ්ශංක
මව්බිම - හදගැස්ම