"ඇත්තටම බයිලා කියලා ගීත කලාවක් නෑ" - නිහාල් නෙල්සන්
Wednesday, 20 January 2021 - 15:39 | Views - 370
මිනිස්සු බයිලා කියලා හදුන්වන්නේ සික්ස් එයිට් බීට් එකට කියන ගීත. එහෙම බැලුවොත් අමරදේව මහත්මයත් බයිලා කිව්වා. මොකද එතුමත් සික්ස් එයිට් බීට් ගීත කියලා තියෙනවනේ. ලංකාවේ බයිලා නොකියපු කෙනෙක් නැහැ."

අනෙක් සියලු කලාකරුවන් වගේම මමත් මේ මොහොතේ කොවිඩ් ප්‍රශ්නය නිසා වෘත්තීයමය වශයෙන් අරගලයක ඉන්නේ. විශේෂයෙන්ම කිව්වොත් ගීත කලාව විතරක් නෙමෙයි, චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ඇතුළු සියලුම කලා ක්‍ෂේත්‍රයන් මේ මොහොත වෙනකොට බිඳ වැටිලා.

ඉතින් සියලු කලාකරුවන් සමඟ මමත් මේ මොහොතේ උත්සාහ කරන්නේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් සොයා ගන්න. අපි ඒකට දිගටම උත්සාහ කරනවා.
 
ඉතින් මම හිතන්නේ මේ තත්ත්වය සඳහා ගැළපෙන ක්‍රමවේදයක්, සිස්ටම් එකක් සකස් කරල ඉක්මනින්ම කලා කටයුතු නැවත පණගන්වන්න බලධාරීන්ට පුළුවන්කමක් තියෙනව නම් ඒක තමයි වැදගත් දේ වෙන්නේ.

ගායන ක්‍ෂේත්‍රය වෙත පිවිසිලා දිගු ගමනක් යෑමට නිහාල් නෙල්සන් ගත්ත සැලසුම් සහගත ආරම්භය ගැන කතා කළොත්?
ඔව්. මගේ ආරම්භය ගැන කතා කළොත් ඒක සැලසුම්සහගත ආරම්භයක්. මොකද පොඩි කාලෙ ඉඳලා හීන දැක්කෙ ජනප්‍රිය ගායකයෙක් වෙන්නනෙ.

1963 මාර්තු 31 වැනිදා දවල් 11.20ට ගුවන් විදුලිය ඔස්සේ මගේ ලස්සනට පිපුණු වන මල් ගීතය පළමු වරට ප්‍රචාරය වෙනවා. කරුණාරත්න අබේසේකර මහතා තමයි මේ අලුත් ගායකයෙක්, මේ අලුත් ගීතයක් කියලා මාව රටට හදුන්වා දෙන්නේ. ඉතින් ඒ හදුන්වාදීමෙන් පස්සේ, අඛණ්ඩව මම මේ ගමන මේ විදිහට සාර්ථකව ඇවිල්ලා තියෙනවා. මම ඒ ගැන හදවතින්ම සතුටු වෙනවා.

අනාගතයේදී දක්ෂ ගායකයෙක් වෙන්න ඔබ තුළ කුඩා කාලයේ තිබ්බ සූදානම ගැන මතක් කරමු?
මම හිතන්නේ ළමා කාලයේ ඉඳලම මට හොඳ සූදානමක් තිබුණා. පෙර පාසල් සමයේ ඉඳලාම මම කොහොමත් උත්සාහ කළේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න. මට ඩොක්ටර් කෙනෙක් වෙන්නවත් ඉන්ජිනියර් කෙනෙක් වෙන්නවත් වුවමනාවක් තිබුණෙ නැහැ. මොකද හැම වෙලාවෙම අපි හඹායන්න ඕන අපිට කරන්න පුළුවන් දේ කියලා මම දැනගෙන හිටියා.
මට සින්දු කියන්න පුළුවන්කම තියෙද්දී මම වෙන දේවල් ගැන හීන මවලා වැඩක් නෑ. සාමාන්‍යයෙන් ජනප්‍රිය ගායකයෙක් වෙන්නනම් මුලින්ම ගෙදරින් පටන්ගන්න ඕන කියලයි මම විශ්වාස කළේ. ඉතින් මම එතැනින් පටන්ගත්තා. ගෙදරින් ගමට, ගමෙන් රටට සහ රටෙන් ලෝකයට ගියා. ඕනම කලාකරුවෙක්, නිර්මාණකරුවෙක් ලෝකය ජයගන්න ඕන නම් මුලින්ම තමන්ගේ ගෙදරින් පටන්ගන්න ඕන. ඒක අමතක නොකළ යුතු සත්‍යයක්.

පසුගියදා පැවැති ඔබේ ජන්ම දිනය නිමිතිකරගෙන නිහාල් නෙල්සන් නමින් මාර්ගයක් විවෘත වුණා. ඒ සම්බන්ධව කතා කළොත්?
ඔව්, මගේ උපන් දිනයට සමගාමීව තමයි මොරටුව රාවතාවත්ත 3 වැනි පටුමඟ නිහාල් නෙල්සන් මාවත නමින් විවෘත කළේ. ඒක මට කරන උපහාරයක් විදිහ මොරටුව නගරාධිපතිතුමන් වූ සමන් ලාල් මහතාගේ උපදෙස් යටතේ සිදුවුණ දෙයක්. එතුමන් විතරක් නෙවෙයි, මේ සඳහා කේසර රවීන්ද්‍ර මහත්මයාත්, මොරටුව ලලිත කලා සංගමයේ සභාපති තිලක් ද මැල් මහත්මයාත් ඒ හා සමානව සහයෝගය සැපයුවා. මේ මොහොතේ ඔවුන්ව ගෞරවයෙන් වගේම ආදරෙන් සිහිපත් කරනවා.

එදා සිට මේ දක්වා ඔබ ජනප්‍රියත්වය කියන කාරණාව අඛණ්ඩව නඩත්තු කරනවා. ගොඩනඟාගත්ත ජනප්‍රියත්වය කෙටි කාලයකට පමණක් සීමා වෙන වත්මන් කලාකරුවන් ගැන ඔබ දරන මතය මොකක්ද?
මම මහ ලොකු විශේෂ දේවල් කරන්නේ නෑ. ජනතාව මට යමක් හදලා දීලා තියෙනවා. රසික, රසිකාවියො නිහාල් නෙල්සන් කියලා කෙනෙක්ව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔවුන් මට හදලා දීලා තියෙන නම, ලබාදීලා තියෙන ගෞරවය මම හැම මොහොතකම ආරක්ෂා කරගෙන තමයි කටයුතු කරන්නේ.

මම හැමවෙලේම කල්පනා කරන්නේ කොහොමද මගේ රසික රසිකාවියන්ගේ හදවත දිනා ගන්නෙ කියලා. ඔවුන් සමඟ හොඳ විදිහෙ සම්බන්ධතාවක් පවත්වා ගන්නෙ කියලා. මම මගේ පැවැත්ම තියාගන්න හැම වෙලේම මගේ චරිතය ගැන හිතනවා.

ප්‍රතිරූපය නඩත්තු කරනවා. ප්‍රතිරූපයට හානිදායක දේවල් නොකර රසිකයන් පිනවන්න පුළුවන් නිර්මාණ ඉදිරිපත් කළොත් ගොඩක් වෙලාවට ජනප්‍රියත්වය කියන එක අඛණ්ඩව පවත්වා ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. මගේ නම් ක්‍රමය ඒක තමයි. ඉතින් වර්තමාන කලාකරුවො සමහරක් එහෙම නොකරන නිසාම තමයි ඔවුන්ගේ ජනප්‍රියත්වය සීමා සහිත වෙලා තියෙන්නේ.

මෙරට බයිලා කලාවේ ප්‍රවීණයෙක් හැටියට, වත්මන් බයිලා කලාව ගැන ඔබ තෘප්තිමත්ද?
බයිලා කියලා ගීත කලාවක් නිර්මාණය කරගෙන තියෙන්නේ මිනිස්සුමයි. ඇත්තටම බයිලා කියලා ගීත කලාවක් නෑ. මිනිස්සු බයිලා කියලා හදුන්වන්නේ සික්ස් එයිට් බීට් එකට කියන ගීත. එහෙම බැලුවොත් අමරදේව මහත්මයත් බයිලා කිව්වා. මොකද එතුමත් සික්ස් එයිට් බීට් ගීත කියලා තියෙනවනේ. ලංකාවේ බයිලා නොකියපු කෙනෙක් නැහැ.
අමරදේව මහත්මයාගේ ඉඳලා දැන් ඉන්න පොඩිම ගායකයා දක්වා හැම කෙනෙක්ම ඔය කියන විධියට බයිලා කියලා තියෙනවා. ඉතින් මම කියන්නේ සමහරු ඔය සික්ස් එයිට් බීට් ගීත හරියට කියනවා. සමහරු හරියට කියන්නේ නෑ. මම ඉන්නේ මධ්‍යස්ථ මතයක. අද තියෙන බයිලා හොඳ නැහැ කියල කියන්න බැහැ. මොකද අදටත් හොඳට සික්ස් එයිට් රිදම් එකේ සින්දු කියන ගායකයො ඉන්නවා.

විරහව පමණක් මූලික කරගත්ත අර්ථ විරහිත ගීත කලාවක් වර්තමානයේ බිහිවීමේ හේතුව මොකක් වෙන්න පුළුවන්ද?
මෙහෙමයි ඒවා තුළත් අර්ථවත් ගීත නැහැ කියන්නත් බැහැ. දෙයක් ගන්න පුළුවන් විධියේ අර්ථවත් ගීත තියෙනවා. නමුත් දැන් පරපුරේ තියෙන ගැටලුව තමයි, අර්ථාන්විත විදිහට පද එකතු කරන්න තේරෙන්නේ නැතිකම. පද රචකයන්ට ඒක තේරෙන්නෙ නෑ. ඔවුන්ගේ තමයි ගැටලුව තියෙන්නේ. උඩම පේළිය ලියනවා අම්මා බත් කවයි කියලා.

දෙවැනි පේළිය ලියනවා වෙරළේ සුළං හමයි කියලා. එතකොට කිසිම ගැළපීමක් නැහැ. උඩ පේළියේ අම්මා බත් කවයි කියලා ලිව්ව නම් ඊළඟ පේළිවල ලියන්න ඕන වී ගන්න විදිහ, සහල් ගන්න විදිහ හෝ කුඹුරු කොටන විදිහ ගැන. නැත්නම් ඒක ලොකු අවුලක්නේ.

මම හිතන්නේ කවුරුහරි කෙනෙක් කියනවා නම් වර්තමාන ගීත කලාව අවුල් කියලා, භාෂාව හැසිරවීමේ අවුල තමයි ඇත්තටම තියෙන ප්‍රශ්නේ. මම හිතන්නේ ඔවුන් අර්ථයක් ගම්‍ය වෙන විදිහට ලියපු පැරැණි ගීත සහ ඒවා ලියපු පද රචකයන්ව අධ්‍යයනය කරන්න ඕන.

රටේ බොහොමයක් අතිදක්ෂ ගායකයන්ට රටින් ලෝකයට ගිහිල්ලා ජාත්‍යන්තර තලය ජයගන්නට නොහැකි අර්බුදයක් තියෙනවා. ඒ සම්බන්ධව කතා කළොත්?
ලංකාවේ ගායකයො විතරක් නෙමෙයි, කලාකරුවො ගොඩකට ජාත්‍යන්තරය ජයගන්න බැරුව තියෙන්නේ ලංකාවේ මාධ්‍ය නිසා. මාධ්‍යවලින් තමයි ඔවුන්ව නරක් කරන්නේ.

මුලින්ම ගොඩක් උස්සලා තියනවා. උස්ස උස්ස උඩටම ගෙනියනවා. මේ තමයි ගායකයා, මෙයා තමයි හොඳටම කියන්නෙ කියලා උලුප්පල පෙන්නනවා. ඊට පස්සේ අමතක කරලා, අතහැරලා දානවා. උස්සලා පොළොවෙ ගහන එක තමයි මාධ්‍යවල රාජකාරිය. ඇත්තටම ගොඩක් ගායකන්ට වගේම කාලකරුවන්ටත් ජාත්‍යන්තරය ජයගන්න බැරි වෙලා තියෙන්නේ ලංකාවේ මාධ්‍යවල තියෙන අවුල නිසා.

සික්ස් එයිට් බීට් ගීත ගායනයෙන් සංගීත ක්‍ෂේත්‍රයේ මුදුන ස්පර්ශ කරද්දී, ප්‍රබුද්ධ සමාජයේ විවේචන එල්ල වුණේ නැද්ද?
මුලින්ම කියන්න ඕනේ මම කියන්නේ සික්ස් එයිට් බීට් ගීත විතරක් නෙමෙයි. මම සරල ගීතත් කියනවා. ගොඩක් අය මාව හදුනාගන්නේ සික්ස් එයිට් බීට් වැඩිපුර කියන ගායකයෙක් විධියට. නමුත් එහෙම නෑ.

මට මතකයි ඒ කාලේ අපි අපේ ආරයේ සින්දු කියද්දී ගොඩක් ප්‍රබුද්ධ ගායකයො ඇහුවා අලුත් ළමයි ඇවිල්ලා මොනවද මේ කියන සින්දු? කියලා. එයාලා ඒ දවස්වල කිව්වෙ අපි මිනිසුන්ගේ මොළේට කතා නොකර ගීතවලින් කකුල්වලට විතරක් කතා කරනවා කියලා. එතකොට මට ආපු ප්‍රශ්නෙ තමයි ඇත්තටම ගීත අහන්න මොළේ විතරක් තිබ්බම ඇතිද කියන එක.

සංගීත සන්දර්ශනේකට ගියාම කකුල් දෙකෙන් හිටගෙන තමයි අපි මොළෙන් හරි, මොකෙන් හරි ගීතයක් රසවිඳින්න ඕන. ඉතින් සමහරු මොළේට කතා කරනවා. සමහරු කකුල් දෙකට කතා කරනවා. ඒක අවුලක් වෙන්න බෑනේ. ඔය ප්‍රබුද්ධ සුප්‍රබුද්ධ කතා ඔක්කොම කිසියම් කල්ලියක් විසින් කලාව තුළ ආධිපත්‍ය ආරක්ෂා කරගන්න කරපු වැඩ. එදා වගේම අදත් ඕවා තියෙනවා. ඉතින් මාව ඕවට නවත්තන්න පුළුවන් වුණේ නෑ.

‘කලාකරුවා හිඟන්නා’ කියන පොදු ජනප්‍රිය මතයත් සමඟ ඔබ එකඟද?
ජනතාව විසින් කලාකරුවන්ට යැපෙන්න ක්‍රම හදලා දීලා තියෙන්නේ. ජනප්‍රියත්වය මත හෝ ගුණාත්මකභාවය මත රසිකයා අපිට යම්කිසි වටිනාකමක් ලබා දීලා තියෙනවා. අපි දැනගන්න ඕනේ ඒ වටිනාකම භාවිත කරලා මුදල් උපයන්න. ගායකයෙක් වුණාට පස්සේ කොහෙවත් අපිට පඩි දෙන්නේ නැහැනේ. විශ්‍රාම වැටුප් හම්බවෙන්නෙත් නැහැ. කලාකරුවා කියන කෙනා දැන ගන්න ඕනේ තමන්ට නිර්මාණය වෙලා තියෙන වටිනාකම භාවිත කරලා මුදල් උපයලා, අනාගතය සඳහා ආයෝජනය කිරීමක් කරන්න.


එහෙම කරන්නෙ නැතිව කලාකාරයා හිඟන්නා කියලා මතයක් දැරුවට වැඩක් නැහැ. කලාකාරයෝ කියන්නේ හිඟන්නෝ නෙවෙයි. මොකද අපි කොහෙන්වත් පඩි ගන්නේ නැතිව අපිම පඩියක් නිර්මාණය කරගෙන, රජයට ගෙවන්න ඕන බදු ඇතුළු සේරමත් ගෙවලා හොඳින් ජීවත් වෙනවා.

මම කියන්නේ කවුරු හරි කෙනෙක් කලාකාරයා හිඟන්නා කියලා කියනවා නම් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. කලාකාරයෙක්ම කියනවා නම් කලාකාරයො හිඟන්නො කියල ඔහුට තියෙන්නේ තමන්ගේ වටිනාකම මුදල් බවට පත්කර ගැනීමට නොහැකියාවක්. බැරිකමක්.

නවකයො බොහොමයක් කලාව තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟාගැනීම කියන කාරණාවේදී අසාර්ථකයි. කලාකරුවෙක් විධියට අනන්‍යතාවක් ගොඩනැඟීම සම්බන්ධ කාරණාවට ඔබෙන් උපදෙස් හෝ යෝජනා තියෙනවද?
මං කියන්නේ අනන්‍යතාව කියන එක ගොඩක්දුරට රඳා පවතින්නේ අදාළ කලාකරුවා මුලදී නිර්මාණය කරගන්න අත්තිවාරම මත. අද ගොඩක් කලාකරුවන්ට අත්තිවාරමක් නෑ. ඒ නිසා අනන්‍යතාවකුත් නෑ. සුනිල් ශාන්ත මහත්මයාගේ ගීත ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වුණා. ඒ තරමටම ඒවා අදටත් ජනප්‍රියයි.

මොකද ඔහු මුල ඉඳලම රසිකයාගේ හිතේ අවේණික ප්‍රතිරූපයක් හදාගත්තා. මිනිස්සු අදටත් සුනිල් ශාන්ත මහත්මයාගේ ගීතයක් යනකොට දන්නවා ආ මේක කියන්නේ සුනිල් ශාන්ත මහත්මයා තමයි කියලා. හැබැයි දැන් ඉන්න නව පරපුරේ ගායකයෙක් ගත්තොත් ගීතය දන්නවා වුණාට ගායකයා කවුද කියලා මිනිස්සු දන්නෙ නෑ. ගීතය විතරක් මතක් කරවන්න පුළුවන් වුණාට වැඩක් නෑ. ගායකයාගේ නම මතක් කරන වැඩෙත් අනන්‍යතාවක් හදන ගායකයෙක් කරන්න ඕනේ වැඩක්.

වසර ගණනාවක් අඛණ්ඩව ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න, ඔබට ශක්තියක් වුණු අය ඉන්නවද?
මට ශක්තියක් වුණේ මගේ පවුල. මගේ බිරිය මාලි මියයෑම මම හිතන්නේ මට ලොකු පාඩුවක්. නමුත් මගේ පුතා සහ පුතාගේ බිරිය ඉන්න නිසා මට අදටත් ශක්තිමත් විධියට ක්‍ෂේත්‍රයේ ඉන්න පුළුවන්. ඔවුන් දෙන්නට දැන් කුඩා දියණියකුත් ඉන්නවා. ඒ ශක්තියත් එක්ක මම ශක්තිමත්ව තවත් ඉස්සරහට යනවා.

ගීත කලාව ඇතුළෙ තවදුරටත් අලුත් වැඩ පෙන්වනවද? නැත්නම් දැන් ඇති කියලා තෘප්තිමත් වෙනවද?
මම මට මේක කරන්න බැහැ කියලා හිතුණු කලෙට මේකෙන් අයින් වෙනවා. දෙයක් කරන්න බැරි වුණාම තවදුරටත් අල්ලගෙන ඉන්න එක තේරුමක් නැහැ. හැබැයි මම හිතනවා මට තාමත් පුළුවන් කියන එක. මම නිර්මාණකරණයේ තමයි ඉස්සර ඉඳලම යෙදුණේ. ජීවිත කාලෙටම කිසිම රැකියාවක් කරලා නැහැ. මේක තමයි මට පුළුවන් හොඳම දේ. මම එදා ඉඳලම ඉදිරියට යන්න පොරබැද්දා. ඉස්සරහටත් එහෙමම වෙයි. හැබැයි කාත් එක්කවත් නෙමෙයි මාත් එක්කම තමයි පොරබදන්නේ.

ප්‍රමේෂ් වික්‍රමසිංහ
මව්බිම - හදගැස්ම
Share This Article
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 1,717 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
Monday, 21 December 2020 - 14:38
Hiru Tv Blog 1,677 Views
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ...
Hiru Tv Blog
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල්...
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 7,724 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
සිංහල සිනමාවේ අසහාය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය...
Hiru Tv Blog
පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයකි.එනම් එදින වැලන්ටයින් දිනය නැතිනම්...
Hiru Tv Blog
රොෂාන් රණවන කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂකයන් අතරට ආපු...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Top