කොරෝනා රෝගය තාත්තාටත් හැදිලා කියලා හිතුවේ නැහැ. තාත්තා රෝහල්ගත කරලා දවස් දහහතරක් රෝහලේ හිටියා,පසුව මිය ගියා
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ හිටපු වීරයා. ඒ වීරයා නැති වුණාම දුවෙක්ට දැනෙන හැඟීම වචනයෙන් කියන්න අමාරු තරම් හැඟීමක්. මම පවුලේ එකම ළමයා. රංගන කටයුතු කළාට මට ජීවිතය ගැන ලොකු බරක්පතලක් තිබ්බේ නැහැ. මොකද මම දැනගෙන හිටියා මගේ ජීවිතේ හැමදේකදීම මගේ වීරයා මාත් එක්ක ඉන්නවා කියලා. මගේ වීරයා වුණු තාත්තා නැති වීමත් එක්ක ජීවිතය උඩුයටිකුරු වුණා වගේ.
තාත්තා නැති වුණාට පස්සේ සෙනාලි එංගලන්තයට ගියා නේද?
ඔව්. මගේ තාත්තයි, අම්මයි හිටියේ එංගලන්තයෙ. අප්‍රේල් 14 වැනිදා තමයි තාත්තා අසනීප වුණේ. අපි හිතුවේ ඒක සාමාන්‍ය රෝගී තත්ත්වයක් කියලා. මගේ තාත්තා ෆාමසි එකක වැඩ කළේ. එංගලන්තයේ කොරෝනා රෝගය තිබ්බට තාත්තාටත් හැදිලා තියෙන්නේ ඒ රෝගී තත්ත්වය කියලා හිතුවේ නැහැ. තාත්තා රෝහල්ගත කරලා දවස් දහහතරක් රෝහලේ හිටියා. ඊට පස්සේ තමයි තාත්තා නැති වුණේ. ගුවන්තොටුපොළ වහලා තිබ්බ නිසා මට එංගලන්තයට යන්න විදිහක් තිබ්බේ නැහැ. මාසෙකට පස්සේ තමයි මට එංගලන්තයට යන්න පුළුවන් වුණේ. මගේ අම්මා එහෙ තනියම හිටියේ. තාත්තා නැති වුණා කියලා ඇය දැනගත්තේ පස්සේ. මම එංගලන්තයට ගිහින් අම්මවත් බලාගෙන අවශ්‍ය කටයුතු කළා. මාසෙකට කලින් ආයෙත් මම ලංකාවට ආවා. ඒ ඇවිත් ගන්නොරුවේ නිරෝධායන මධ්‍යස්ථානයේ දවස් 14ක් නිරෝධායනය වෙලා තව දවස් 14ක් ගෙදරම ඉඳන් නිරෝධායනය වෙනවා.
තාත්තා රෝහල්ගතව ඉද්දී ඔබට තාත්තා එක්ක කතා කරන්න ලැබුණද?
තාත්තා රෝහල්ගත කරලා මුල් දවස් දෙකේදී මට තාත්තා එක්ක කතා කරන්න ලැබුණා. ඊට පස්සේ කොරෝනා රෝගී තත්ත්වයත් එක්ක ඇතිවෙන නිව්මෝනියා තත්ත්වය එක්ක තාත්තා දුර්වල වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ නිර්වින්දනය කරලා තමයි තාත්තාට ප්‍රතිකාර කරන්න වුණේ. ඒ දවස්වල මම දැක්කා සමහර වෙබ් අඩවිවල වැරැදි කතාවක් පළවුණා 'එංගලන්තයේ රෝහල්වලින් මගේ තාත්තාව හරියට බලාගත්තේ නෑ' කියලා. නමුත් මම මේ වෙලාවේ කියන්න ඕනේ ඒක බොරුවක්. එරට රෝහල් වෛද්‍යවරු මගේ තාත්තාටත් අවශ්‍ය ප්‍රතිකාර හරියට කළා. තාත්තාව බලාගත්තා. අවසන් මොහොතෙදි පවා තාත්තාගේ මුහුණ බලන්න අපිට අවස්ථාව ලබාදුන්නා. ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනය කළ විදිහට එරට කොරෝනා තත්ත්වය පාලනය නොකළත් ඔවුන් මගේ තාත්තාට ප්‍රතිකාර කරලා සනීප කරන්න මහන්සි වුණා.
තාත්තා ඔබට කතා කළ අවස්ථාවේ මොනවද කිව්වේ?
තාත්තාට හුස්ම ගන්න අමාරු වෙද්දි තමයි අපි මේක නරක තත්ත්වයක් කියලා තේරුම් ගත්තේ. සාමාන්‍යයෙන් තාත්තලා දරුවන්ට ආදරේ පෙන්නන්නේ නෑනේ. ඔවුන්ගේ තියෙන්නේ සැඟවුණු ආදරයක්නේ. මමත් සාමාන්‍යයෙන් මගේ ආදරේ ලොකුවට පෙන්නන කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා නැති වෙයි කියලා හිතුවේ නැති වුණත් අපි දෙන්නට දෙන්නා කොච්චර ආදරෙයිද කියලා පෙන්වන්න අපිට අවස්ථාව ලැබුණා. නිර්වින්දනය වෙන්න මොහොතකට කලින් තාත්තා මට කිව්වේ 'අම්මව බලාගන්න' කියලා. මම හිතුවේ තාත්තා සනීප වෙලා ගෙදර එයි කියලා. හැබැයි තාත්තා ගෙදර ආවේ නැහැ.
තාත්තා නැතිවුණු වෙලාවේ අම්මා එරට තනිවෙලා හිටියා වගේම ඔබ ලංකාවේ තනි වුණා. ක්ෂේත්රයේ හිතමිතුරෝ ඔබේ තනියට ළඟ හිටියද?
මම අවුරුද්දක් විතර ලංකාවේ තනියම හිටියේ. ලොකු නැන්දි (මාලිනි ෆොන්සේකා) එක්ක තමයි මම හිටියේ. ඇය මගේ ළඟින්ම ඉඳන් ලොකු ශක්තියක් මට දුන්නා. තාත්තාට සනීප වෙන්න කියලා ඥාතීන් ප්‍රාර්ථනා කළා. තාත්තා යද්දී ඒ පින් අරගෙන යන්න ඇති. තාත්තා නැති වුණාට පස්සේ මම ලෙඩ වුණා. මම කන්නේ නැතුව පවා හිටියා. එතකොට විනු ගෙදරින් උයාගෙන ඇවිත් මට කවලා තියෙනවා. තිබ්බ පසුබිම එක්ක එන්න යන්න බැරිවෙද්දි මගේ යාළුවෝ කිහිපදෙනෙක් මම ආසා කරන කෑම ඕඩර් කරලා මගේ ගෙදරට එවලා කන්න කියලා බල කළා. ඒ යාළුවෝ කිහිපදෙනා එදා ඉඳන් අදටත් මාත් එක්ක ඉන්නවා. ඒ වගේම රේණුකා බාලසූරිය මහත්මිය මම එංගලන්තයට යනකල්ම හැමදේම හොයලා බැලුවා. අපිට හම්බෙන්න ක්‍රමයක් තිබ්බේ නැතත් නිතර දුරකථනයෙන් කතා කරලා හොයලා බැලුවා. ඒ වගේම හේමාල් රණසිංහ. සහෝදරයෙක්, යාළුවෙක් විදිහට මං ගැන හොයලා බැලුවා. මම එංගලන්තයට ගියාමත් කතා කළා. ඒ වගේ බොහෝදෙනෙක් මං වටා ශක්තියක් වෙලා හිටියා.
ඔබ පවුලේ එකම දරුවා නිසා දැන් මව බලාගන්න ලොකුම වගකීම පැවරිලා තියෙන්නෙත් ඔබට?
ඔව්. මගේ අම්මව බලාගන්න මට ලොකු වගකීමක් තියෙනවා. ඉස්සර තාත්තා අපි දෙන්නවම බලාගත්තා. දැන් තාත්තා අපි අතර නැති නිසා මම අම්මා කෙනෙක් වගේ මගේ අම්මව බලාගන්න ඕනේ. මම හම්බ කරපු දේවල්වලින් මම තාත්තාට යම් දේවල් කළා. නමුත් මට තාත්තා වෙනුවෙන් තව දේවල් කරන්න තිබ්බා නේද කියලා හිතෙනවා. දැන් මම ඒ හැමදේම මගේ අම්මා වෙනුවෙන් උපරිම කරනවා.
දැන් සෙනාලි දිගටම අම්මත් එක්ක ලංකාවේ ඉඳියිද?
මම මුල ඉඳන්ම ලංකාවේ ඉන්න කැමැති වුණු කෙනෙක්. නමුත් තාත්තා එංගලන්තයට ගියේ මගේ අනාගතය ගැන හිතලා. කවදාහරි මගේ දරුවන්ටත් හොඳ අනාගතයක් හදන්න තමයි තාත්තා ඒ රටට පදිංචියට ගියේ. ඒක මුලින් මට එච්චර දෙයක් නොවුණට දැන් මට ඒක හැම තිස්සෙම මතක් වෙනවා. ඒ නිසා තාත්තා මගේ අනාගතය ගැන හිතලා ලබාගත්ත ඒ රටේ පුරවැසිභාවය නැති කරගන්න මම කැමැති නැහැ. තාත්තා අවුරුදු 67ක් මහන්සි වුණේ අපිව සතුටින් තියන්න. ඒ නිසා ඔහු කළ දේ අගය කරන්න මම ඒ රටෙත් ඉන්නවා. දැන් මටයි අම්මටයි සුදුසු ලංකාව. නමුත් අපි දෙන්නා රටවල් දෙකේම ජීවත්වෙයි.
ලංකාවෙන් යන්න කලින් සෙනාලි නිර්මාණවලට එකතු වෙලා හිටියා. ඇතිවුණු ප්‍රශ්නයෙදි ඒ නිර්මාණකරුවෝ ඔබට හොඳ සහායක් දුන්නද?
ඒ ගැන මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. ඇත්තටම මං වටා හිටපු ඒ පිරිසට මම ස්තුතිවන්ත වෙනවා. මම ඒ දවස්වල රංගන කටයුතු කරමින් හිටියේ. ඒ නිර්මාණවල අධ්යක්ෂවරු, නිෂ්පාදකවරු මාව ඒ වෙලාවේ තේරුම් ගැනීම ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. එයාලා මට කිව්වේ අවශ්‍ය කාලයක් අරගෙන ආයෙත් සෙනාලි විදිහට ඒ වැඩවලට එකතු වෙන්න කියලා. ඔවුන් ඒ ඉඩ මට ලබාදුන්නා.
ඔබ පහුගිය මාස කිහිපයේ බොහෝ දේවල්වලින් අෑත් වෙලා හිටියා. දැන් ආයෙත් වැඩ පටන් ගන්න සුදුසු පසුබිමක ඔබ ඉන්නවාද?
තාත්තා නැතිවීම ජීවිතයට ලොකු වෙනසක් විදිහට දැනෙන්නේ. ඒ වෙනසට මුහුණදීලා, හිත ශක්තිමත් කරගෙන හැමදේම ආයෙත් පටන් ගන්න හිතුවා. මම පහුගිය කාලේ රංගනයෙන් වගේම හැමදෙයින්ම අෑත්වෙලා තනිවෙලා හිටියා. මම දුකත් එක්ක ගනුදෙනු කරන්නේ තනිවෙලා. හැමදේම එතැනින් නවත්තන්න බෑ. මම ආයෙත් ජීවිතය පටන් ගන්න ඕනේ. මම කොතැනදිවත් වැටෙනවට මගේ තාත්තා කැමැති වුණේ නැහැ. ඔහු දැන් මගේ ළඟ නැති වුණත් මම මගේ තාත්තට ආඩම්බරයක් වෙන්න ඕන.
ඔහුට ආඩම්බරයක් ගෙනෙන දුවක් වෙන්න මම මටම පොරොන්දු වුණා. මගේ තාත්තා මට පුංචි කාලේ ඉඳන් කතා කළේ 'පුතා' කියලා. මම ඉතින් ඉස්සර තාත්තා එක්ක රණ්ඩු වෙනවා 'ඇයි මට දුව කියන්නේ නැතුව පුතා කියන්නේ' කියලා. එතකොට මගේ තාත්තා කියපු දෙයක් තමයි 'ඔයා තමයි මේ ගෙදරට ඉන්න පුතත්, ඔයා තමයි මේ ගෙදරට ඉන්න දුවත්' කියලා. ඉතින් මට මගේ අම්මා මාත් එක්ක ඉන්නවා. මට හැමදේම අතහරින්න බැහැ. මට එයාලට ආඩම්බරයක් වෙන්න ඕන. මම මේ වුණු දේවල් එක්ක තේරුම් ගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි අපිට උදවු කරන අය ඉන්නවා. නමුත් අපිට හැමදාම ඒ අය මත්තේ ඉන්න බැහැ. අපිමයි ජීවිතයේ නැඟිටින්න ඕන.
රංගන කටයුතු නැවත අරඹන්නේ මොන නිර්මාණයෙන්ද?
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන 'කබඩි' චිත්‍රපටයේ වැඩ ආයෙත් පටන් ගන්න තියෙනවා. එහි එක ගීතයක් තියෙනවා රූගත කිරීම් නිම කරන්න. මේ 12 වැනිදා ඒ වැඩ කටයුතු පටන් ගන්නවා.
තව අලුත් ආරාධනා ලැබිලා තියෙනවද?
ඔව්. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ එක නිර්මාණයක් භාරගෙන තියෙනවා. ලැබුණු අලුත් පිටපත් මේ දවස්වල කියවමින් ඉන්නේ.
සෙනාලි ඉදිරියට පුංචි තිරයෙයි සිනමාවෙයි දෙකේම රැඳෙයිද?
මම ක්ෂේත්රයට මුලින්ම ආවේ සිනමාවෙන්. කලාව ගැන පිස්සුව තියෙන්නේ සිනමාව නිසා. ලංකාවේ තිබෙන තත්ත්වය එක්ක සිනමා නිර්මාණ කෙරෙන්නේ අඩුවෙන්. හැදෙන නිර්මාණ අඩු නිසා අපි ආස හැමදේම කරන්න වෙන්නේ නැහැ. මම ඒකාකාරි චරිතවලට කොටුවෙන්නත් කැමැති නැහැ. කලාව තුළ වෙනස් විදිහේ අත්දැකීම් ලබන්න මම කැමැතියි. පුංචි තිරයේ වුණත් වෙනසක් කරන්න පුළුවන් හොඳ නිර්මාණයක් නම් මම භාරගන්නවා.
පුංචි තිරයේ නිතර දකින කෙනෙක් සිනමා නිර්මාණවලට ගන්න සිනමා අධ්යක්ෂවරු කැමැති නැහැ. සිනමාවටත් ඔබින අගය රඳවා ගන්න සෙනාලි මහන්සි වෙනවද?
අගය රඳවා ගන්න අවශ්‍යයි කියලා නෙවෙයි මම වැඩ කළේ. නමුත් මම හැමතැනම දකින චරිතයක් වෙන්න කැමැති වුණේ නැහැ. කෙනෙක්ව හැමතිස්සෙම දකිද්දී එපා වෙන්න පුළුවන්. මම පිටපතක් කියවලා මට ආසාවක්, මට තෘප්තිය දෙන දෙයක් නම් තමයි මම කරන්නේ. මම නිතර දකින්න නොලැබෙන එක සිනමා නිර්මාණවලට මාව තෝරගන්න වාසියක් වුණා.
සෙනාලි ඉදිරිය ගැන විශේෂ සැලසුම් හදාගෙනද ඉන්නේ?
මට එහෙම ජීවිතයේ විශේෂ සැලසුම් තිබ්බේ නැහැ. මේ වෙච්ච දේවල් එක්ක කොහොමත් ජීවිතය සැලසුම් කරන්න බෑ කියලා හිතුවා. මටයි අම්මටයි තාත්තා නැති වුණත් තාත්තට ආඩම්බරයක් වෙන්න හොඳ දියණියක් ලෙස මම ජීවත් වෙනවා. ඒ වගේම ඉදිරියේදී වෘත්තීයමය ජීවිතයකිනුයි, රංගනයෙනුයි හොඳ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම - හදගැස්ම