ආදරය ඇතුළේ සීමා මායිම් තියෙන්න ඕනේ- නිර්මාණකරුවෙක් විදිහට මගේ සීමාව ඇය ගොඩක් තේරුම් අරගෙන ඉන්නේ
Monday, 27 July 2020 - 11:55 | Views - 809
“සේද මාවතේ චිත්‍රපටයේ පවන් සේනානායක කියන චරිතයට ප්‍රේක්ෂකයෝ ආදරය කරනවා. ඔහු රටට සේවය කරන දක්ෂ, බුද්ධිමත් CID නිලධාරියෙක්. මේ චරිතයට තරුණ පරපුරෙන් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ කතාව තුළ ආදරය කියන්නේ සල්ලි පස්සේ යන දෙයක්ද, අවංක දෙයක්ද කියන දේත් එක පැත්තකින් කතා වෙනවා. ඒක තරුණ පරපුරට දැනිලා. මෙය තරුණ පරපුරට හොඳ ආදර්ශයක් දෙන චිත්‍රපටයක්. බාල, තරුණ, මහලු හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. පහුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවුණු පාස්කු ප්‍රහාරය එක්ක ඇලළුණු කතාවක් මෙය. මගේ පළමු නිෂ්පාදනය එක්ක ප්‍රේක්ෂකයෝ එකතු වෙලා ඉන්න එක ගැන සතුටුයි.”
ඔබ නිෂ්පාදනයට දායක වුණ නිසාද එහි රංගනයටත් එකතු වුණේ? නැත්නම් ඒ චරිතයට ඔබව ඉල්ලා සිටියද?
මෙහි නිෂ්පාදනයට මම, හර්ෂ, පුෂ්පා සිල්වා, නිශාන්ත ජයවර්ධන එකතු වෙනවා. සම නිෂ්පාදනයට මේනකා සම්බන්ධ වෙනවා. සේද මාවතේ චිත්‍රපටයේ මුල්ම අඩිතාලම දැම්මේ මම සහ හර්ෂ. හර්ෂ ළඟ තිරපිටපතක් තිබිලා එය ටෙලිනාට්‍යයකට කරමු කියලා හර්ෂ මට කතා කළා. ටෙලිනාට්‍යයක් නම් කරන්න බැහැ. චිත්‍රපටයක් නම් කරමු කියලා මම හර්ෂට කිව්වා. ඒත් ඒක කළේ නැහැ. ඊට කාලෙකට පස්සේ මට මතක් වුණා හර්ෂ ළඟ තිබ්බ තිරපිටපත ගැන. මම ඊට පස්සේ හර්ෂට කතා කරලා පාස්කු ප්‍රහාරය තේමා කරලා පණිවුඩයක් දෙන විදිහට චිත්‍රපටයක් කරමු කියලා කතා වුණා. ඒ කතිකාව තමයි මේ චිත්‍රපටය දක්වා දුර ගෙනාවේ.”
කොරෝනා ප්රශ්නය නිසා චිත්‍රපටය තිරගතවීම තාවකාලිකව නතර කරන්න වුණානේ. නිෂ්පාදකයෙක් නිර්මාණයකට අත ගහන්නේ ලාභයක් බලාගෙන. මුහුණ දෙන්න වුණු වාතාවරණය නිෂ්පාදනයට දායක වුණු ඔබටත් බලපෑම්කාරී වෙන්න ඇති?
“ඇත්තටම ඒක ගොඩක් තදින් බලපෑවා. කොරෝනා ප්රශ්නය එන්න කලින් දවස් විසිපහක් අපේ චිත්‍රපටය තිරගත වුණා ඉතාම සාර්ථකව. ඒ කාලේ උපයපු ආදායමයි චිත්‍රපට ශාලා නැවැත විවෘත කළාට පස්සේ ලබපු ආදායමයි අහසයි, පොළොවයි වගේ. කොරෝනා ප්‍රශ්නයට කලින් චිත්‍රපට ශාලා 35ක චිත්‍රපටය තිරගත වුණා. දැන් චිත්‍රපට ශාලා දහයක, පහළොවක තමයි චිත්‍රපටය තිරගත වෙන්නේ. එහෙම තත්ත්වයක ලොකු ආදායමක් ලබන්න අමාරුයි. චිත්‍රපටය කලින් උපයපු ආදායමෙන් තමයි ගිය වියදම හරි පියවා ගන්න වෙන්නේ. ඇතිවුණු තත්ත්වය හැමෝටම බලපාපු කාරණයක්. ඒ නිසා ඒකට කාටවත් ෙදාස් කියන්න බැහැ. දැන් සෞඛ්‍යාරක්ෂිතව තමයි සිනමාශාලා ඇරලා තියෙන්නේ. තව දින කිහිපයක් අපිට තියෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.”
අනුජ් රංගන ශිල්පියා කියන භූමිකාවටද නිෂ්පාදකයා කියන භූමිකාවටද වඩාත් කැමැති?
සිනමා රංගන ශිල්පියෙක් ලෙස ඉන්න තමයි මම ගොඩක් කැමැති. මම ඉන්න කැමැති තැන එතැන . ඒත් සමහර වෙලාවට අපි ආස කරන, අපිට කරන්න පුළුවන් කියලා හිතෙන චරිත තියෙන තිරපිටපත් හම්බවෙනවා අඩුයි. මම හීරෝ චරිත කරලා තිබ්බේ නැහැ. ඒ වගේ චරිතයක් අවශ්‍ය නිසා මම මේ නිර්මාණයටත් නිෂ්පාදන දායකත්වය දුන්නා. මම සාමාන්‍යයෙන් අත්හදා බැලීම් කරන්න කැමැතියි. මට නොලැබෙන චරිතයක් මගේ දායකත්වය තියෙන නිර්මාණයක කරලා ඒකේ තත්ත්වය කොහොමද බලන්න මම කැමැතියි. මම හිතන්නේ රංගනයයි, නිෂ්පාදනයයි කියන දෙකම මම ඉදිරියේදී එකට කරගෙන යයි.”
ක්ෂේත්රයේ සමහර රංගන ශිල්පින්ට කැපිලි කෙටිලි තියෙනවලු. අනුජ්ට එහෙම කැපිලි කෙටිලි ඇවිත් නැද්ද?
“මට කැපිලි කෙටිලි ඇවිත් නෑ කිව්වොත් ඒක බොරුවක්. මාධ්‍ය ආයතනවලින් පවා මට කැපිලි ඇවිත් තියෙනවා. ඒවා මම පෞද්ගලිකව ගන්නේ නැහැ. මම තනියම නැඟිට්ට කෙනෙක්. මට මේ ක්ෂේත්රයේ කවුරුවත් නැහැ. මට කියන්න කෙනෙක් නැහැ. කැපිලි ආවත් මම ඒවා මට නෙමෙයි වගේ විඳගෙන ඉන්නවා. එහෙම ඉන්න නිසා මාව කපලා කපලා බැරිම තැන මට නිර්මාණවලට කතා කරනවා.”
සේද මාවතේ චිත්‍රපටයෙත් ආදරය ගැන කතා කරනවා. තරුණයෙක් විධියට අනුජ් ආදරය දකින්නේ කොහොමද?
ආදරයේදී අවබෝධය කියන දේ තියෙන්න ඕන. සමහරු මුදල් පස්සේ, බලතල පස්සේ, ප්රතිලාභ පස්සේ යනවා. ඒවා පස්සේ ගිහින් තරුණ පරපුර වරද්දා ගන්නවා. ඒවා පස්සේ ගිහින් පස්ස බිම ඇනගත්තම තමයි තේරෙන්නේ. අපේ ක්ෂේත්රයේත් එහෙම අය ඉන්නවා. ඒ වගේ වරද්ද ගන්න දේවල්වලට මවුපියනුත් වගකියන්න ඕනේ. ආදරය කියන දේ තුළ හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕන. ආදරය කරලා අවසානයේ ඒක විවාහය දක්වා ගෙනියන්න ඕන. නැතුව ලාභ ප්‍රයෝජන, සල්ලි පස්සේ යන එන අයගේ ආදරයක් දකින්නේ නැහැ. ඒක ආදරයක් නෙමෙයි.
අනුජ්ව තේරුම් ගත්ත ආදරයක් ලැබිලා නේද තියෙන්නේ?
ඔව්, මම දැන් එහෙම ආදරයක් ලබන කෙනෙක්. මාව තේරුම් අරගෙන මගේ වැඩවලට උදවු කරන කෙනෙක් මට ලැබිලා ඉන්නවා. මම කම්මැළිකමෙන් ඉද්දිත් එයා මාව හැම දෙයකටම උනන්දු කරනවා. ඒක හොඳ සහකාරියකගෙන් වෙන්න ඕන දෙයක්. මට ඒ දේ ඇයගෙන් ලැබෙනවා.
ඇය කවුද කියලා කියන්න කැමැතිද?
ඒ ගැන පස්සේ කියමු නේද? ඇය ක්ෂේත්රයේ කෙනෙක් නම් නෙමෙයි.
අනුජ්ගේ මේ පාර තේරීම හොඳම තේරීමක් කියලා හිතනවද?
ඔව්, මම හිතනවා ඇය හොඳ තෝරාගැනීමක් කියලා
ඇය අනුජ්ගේ වැඩ කටයුතුවලට සීමා දාලා නැද්ද?
නැත්තෙම නැහැ. ආදරය ඇතුළේ සීමා මායිම් තියෙන්න ඕනේ. රංගන ශිල්පියෙක්, නිර්මාණකරුවෙක් විදිහට මගේ සීමාව ඇය ගොඩක් තේරුම් අරගෙන ඉන්නේ. ඒක මට පහසුවක්. ඇය මගේ ක්ෂේත්රයේ අය එක්කත් සුහදශීලියි
විවාහය ළඟදී සිදුවෙයිද?
විවාහයට තව ටික කාලයක් යයි. තව මට වැඩ කිහිපයක් කරන්න තියෙනවා. ඒ දේවල් එක්ක සුදුසු විදිහට විවාහයත් සිද්ධ වෙයි.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම - හදගැස්ම
Share This Article