මේ දිනවල දක්නට තිබෙන නිර්මාණකරණයන් හි දී අප ඔබව දකින්නේ නෑ....
ඇත්ත. නිතර දක්නට නොලැබුණාට මම මේ කලාවේම රැදී සිටින්නියක්. ඒත් දැන් මම මවක් ලෙස වැඩි මූලිකත්වයක් දී තිබෙන්නේ මගේ පවුලට. ඉතිං... මගේ දරුවන් දෙදෙනාගේ වැඩ වෙනුවෙන් වැඩි කාලයක් ගෙවන්නට සිදුව තිබෙනවා යැයි පැවසුවොත් එය අසත්‍යයක් නෙවී.
සිනමාව වෙනුවෙන් කළ කී දෑ ඔබේ රංගන දිවියට ප්‍රමාණවත් වූවා ද...
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘අම්මාවරුනේ’ සිනමා සිත්තම වෙනුවෙන් තමයි මා මුල්වරට සිනමා කැමරාවට මුහුණ යොමු කරන්නේ. ඊට පස්සේ සංජනා, රන් කොල්ලා, තට්ටු දෙකේ ඉස්කෝලේ ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපෑවා. පුංචි තිරයේදී වගේම සිනමාවේදීත් මට ප්‍රවීණ කලා ශිල්පීන්ගේ නිර්මාණකරණයන් හා එක්වීමට වාසනාව ලැබුණා. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ රංගගත වීමටත් අවස්ථාව ලැබුණා. මේ සෑම තැනකදීම ලැබුණු අත්දැකීම් මගේ රංගන දිවියට ශක්තියක් සැපයූවා යැයි පැවසුවොත් ඒක බොරුවක් නෙවී.
දේශපාලනයට පිවිසීම වෙනුවෙන් ඔබටත් ආරාධනා ලැබුණු බව දැනගන්න ලැබුණා. ඒ ගැන...
ඇත්ත. මට දේශපාලනය වෙනුවෙන් ඇරයුම් ලැබුණා. නමුත් එයට යොමු වෙන්න මගේ කැමැත්තක් නෑ. ඒක මම පුද්ගලිකව හිතලා ගත්තු තීරණයක්.
ඔබ ‘දේශපාලන අභියෝගය’ ඉවත දැමුවා. රංගනයේ දී අභියෝග තිබුණ ද?
නැහැ. මට ලැබුණු හැම චරිතයකදීම මම තාත්විකව රඟපෑවා. මට එතන දී ලොකු අභියෝග තිබුණේ නැහැ. මම මගේ දේ හරියට කළ නිසා ප්‍රේක්ෂකයා අතරට ගියා කියා හිතනවා. රඟපෑම වෙනුවෙන් සම්මාන හිමි කර ගන්නවා කියන්නෙත් මට රඟපෑම අභියෝගයක් වුණේ නෑ කියන එකනේ.
නිතර තිරයේ පෙනී නොසිටීමත් ජනපි‍්‍රයත්වයට බාධාවක් නේද...
නැහැ. ලැබෙන හැම ටෙලියකම රඟපාන්න ඕනෑ කියලා ආශාවක් මට නැහැ. මම කළ කී දෑ වෙනුවෙන් සෑහීමකට පත්ව සිටින්නියක්. ඒ නිසාමනේ අදටත් මම පේ්රක්ෂකයින් අතර මතකයේ රුඳුණු චරිතයක්ව ඉන්නේ. ඒක මම ලබපු වාසනාවක්.
ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක නොවන බව පැවසුවා...
ඇත්ත. මම වෘත්තීය රංගන ශිල්පිනියක නෙවී. මම මේ කලාවෙන් යැපෙන්නෙ නැහැ. ඒ නිසාවෙන්ම තමයි තෝරා බේරා ගනිමින් රඟපාන්නේ. හැබැයි හැමෝටම එහෙම කරන්න බැහැ.
ඒ කියන්නේ ඔබේ රංගනයේ සීමා මායිම් ඔබ විසින්ම සලකුණු කරගෙන තිබුණා...
ඇත්තෙන්ම ඔව්. මම රඟපෑවේ එක්තරා සීමාවක සිට. මා කළ තෝරා ගැනීම් පිළිබඳව මට සතුටුයි. ඉතාමත් හොඳ නිර්මාණ වෙනුවෙන් දායක වුණා. ඒ නිසාම මගේ ජීවිතය හැම පැත්තෙන්ම සාර්ථක වුණා.
ඔබ සතු නර්තන දක්ෂතාවන්ගෙන් නිසි ප්‍රයෝජන ලබා ගත්තා යැයි සිතනවා ද...
ඔව්. මම පාසල් කාලයේ සිටම උඩරට නර්තනයෙන් දක්ෂතා එළිදැක්වූවා. ඒ වගේම නර්තනාචාර්ය කුලසිරි බුදවත්තයන් යටතේ වැඩිදුර හැදෑරීම් සිදු කළා. මා නිරූපණය කළ චරිත කිහිපයක් වෙනුවෙන් නර්ථනය යොදා ගන්නටත් අවස්ථාව ලැබුණා. ඒ අතුරින් ‘අන්දර ඇඳිරිය’ විශේෂිතයි.