සමහර තැන්වලදී එයාගේ ඇස්වලට කඳුළු එනවා මම දැක්කා- රූගත කිරීම්වලදී එයා මගේ පස්සෙන් ආවේ නැහැ
Monday, 13 July 2020 - 9:45 | Views - 882
මම මුලින්ම සම්බන්ධ වුණේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයගේ ‘ආදර හීනය’ කියන චිත්‍රපටයට. The News paper චිත්‍රපටය තමයි මම සම්බන්ධ වුණු දෙවැනි චිත්‍රපටය. ඊට පස්සේ චන්න පෙරේරා අයියගේ යුගාත්‍රා චිත්‍රපටයත්, සුනිල් ප්‍රේමරත්න මහත්මයගේ නිහඬ සෙවණැලි චිත්‍රපටයටත් මම සම්බන්ධ වුණා. මේ චිත්‍රපට හතරෙන් මාව මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ගෙනාපු චිත්‍රපටය තමයි The News paper කියන්නේ.

මාෂිව මීට කලින් රංගනයෙන් දැකලා නොතිබෙද්දී තමයි The News paper චිත්‍රපටයට මාෂිට ආරාධනා ලැබෙන්නේ. කොහොමද ඒ ආරාධනාව ලැබුණේ?
සරත් කොතලාවල අයියයි, කුමාර තිරිමාදුර අයියයි අපේ වෙඩින් එකට ආවා. එයාලා පුබුදු අයියට කතා කරන්නේ පුබ්බා කියලා. ඉතින් ඒ දෙන්නා අයියා ළඟට ඇවිත් ඇහුවලු ‘වයිෆ්ව පොඩ්ඩක් අපිට දෙනවද’ කියලා. ඇයි ඇහුවම එයාලාගේ වැඩකට ගන්න කිව්වලු. ඒ කාලෙ ඔවුන් චිත්‍රපටය ලියාගෙන චරිතවලට අවශ්‍ය අය හොයමින් ඉඳලා තියෙන්නේ. ඉතින් අයියා හා කිව්වලු. පුබුදු අයියා සුබයි කියලා චිත්‍රපටයේ වැඩ ආරම්භ කළෙත් අයියගේ අතින්මයි. චිත්‍රපටයේ පළමුවැනි දර්ශනයේ ඉන්නෙත් අයියා. ඉතින් ඔය විධියට තමයි චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ.

තරුෂි කියන මාධ්‍යවේදිනියගේ චරිතයට හැඩගැහෙන්න මාෂිට පහසු වුණාද?
තරුෂි කියන්නේ මාධ්‍යවේදිනියක්. මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් එකතු වුණු සංවේදී හදවතක් තියෙන දැනට ක්‍රියාකාරීව ඉන්න හොඳ මාධ්‍යවේදීන් නියෝජනය කරන චරිතයක් තමයි තරුෂි කියන්නේ. සරත් අයියයි, කුමාර අයියයි මේ චිත්‍රපටයෙදි මම මාෂි නෙමෙයි තරුෂි කියන දේ පැහැදිලි කළා. තරුෂිගේ චරිතයට අවශ්‍ය පසුබිම සරත් අයියා මට හොඳට පැහැදිලි කරලා දුන්නා. ඒ අවබෝධය එක්ක අනෙක් චරිතත් අධ්‍යයනය කරලා තමයි මම ඒ චරිතය කරන්න එකතු වුණේ.

මාෂි රංගනය ගැන අවබෝධයක් අරගෙනද රංගනයට එකතු වුණේ.?
මගේ දක්‍ෂතාව දැකලා නෙමෙයි මට මුලින්ම රංගනයට ආරාධනා ලැබුණේ. මට චිත්‍රපටවලට ආරාධනා එද්දී පුබුදු අයියා කිව්වා රංගනය ගැන හැදෑරීමක් කරන්න කියලා. ඒ එක්ක අයියා මාව අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට සම්බන්ධ කළා. රංගනය සම්බන්ධයෙන් මූලික අධ්‍යාපනය ලබාගත්තේ එහිදී. ඒ වගේම ගෙදරදී පුබුදු අයියා මට හොඳ මාර්ගෝපදේශනයක් ලබා දෙනවා. ඒ මාර්ගෝපදේශත් එක්ක තමයි මම වැඩ කරන්නේ. මම සම්බන්ධ වුණු වාණිජ චිත්‍රපවලට වඩා මේ චිත්‍රපටයේ වෙනසක් තිබුණා. මේක කලාත්මක නිර්මාණයක් නිසා වාණිජ මට්ටමින් එහාට ගිහින් මගේ රංගනය මට ඉදිරිපත් කරන්න වුණා.

කොහොමද ඔබේ මුල්ම රංගන පිවිසුමට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම මේ චිත්‍රපටයෙන් මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම සතුටුයි. මේ චිත්‍රපටය ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් බොහෝ දෙනෙක් නැරඹුවා. ඔවුන්ගෙන් මගේ රංගනයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ආරක්‍ෂක ලේකම්තුමා සහ එතුමාගේ බිරියත් මාව අගය කළා. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ, නවක බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්‍ෂකයන්ගෙනුත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

ඔබේ සැමියා පුබුදු කියන්නේ දක්‍ෂ රංගන ශිල්පියෙක්. මාෂිගේ රංගනය දැකලා පුබුදු සතුටු වුණාද?
මගේ රංගනයට එයා එච්චර කැමති වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒත් චිත්‍රපටය බලද්දී සමහර තැන්වලදී එයාගේ ඇස්වලට කඳුළු එනවා මම දැක්කා. චිත්‍රපටයේ රූගත කිරීම්වලදී එයා මගේ පස්සෙන් ආවේ නැහැ. මගේ රංගනය නිදහසේ කරන්න එයා මට ඉඩ දුන්නා. එයා මගේ රංගනය හොඳ නැත්නම් ඒක අවංකව කියනවා. මගේ රංගනයට එයා සංවේදී වුණා. ඒ වගේම රංගනය විශිෂ්ටයි කියලා තමයි කිව්වේ.

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල එක්ක වැඩ කරන්න මාෂිට පහසු වුණාද?
ඇත්තටම කුමාර අයියටයි සරත් අයියටයි මේ නිර්මාණයට ඕන වුණේ අලුත් මුහුණක්. ඉතින් මම ඒකට ගැළපුණා කියලා ඔවුන් කිව්වා. සරත් අයියා, සාමාන්‍යයෙන් වැඩ කරද්දී සීරියස් චරිතයක්. කුමාර අයියා සැහැල්ලුවෙන් විහිළු තහළු කරගෙන ඉන්නවා. හැබැයි මට පුතේ කිය කිය චරිතය කරන විදිහ ඔළුවට දැම්මා. ඔවුන් එක්ක වැඩ කරන එක මට කිසිම වෙලාවක අපහසු වුණේ නැහැ. ඒ චිත්‍රපටයේ පොඩි චරිතයකට පවා හිටියේ ප්‍රවීණයෝ. අලුත් කෙනෙක්ට ඉන්නේ මම. කුමාර අයියයි, සරත් අයියයි මං ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. මට ඒ ගැන සතුටුයි. එයාලා මම නවකයෙක් කියලා හිතලා මාව බය කළා නම් මට ඒ චරිතය හරියට කරගන්න බැහැ. ඒත් සරත් අයියා, කුමාර අයියා වගේම කැමරාකරණයට සම්බන්ධ වුණ චන්දන අයියා එක්ක වැඩ කරන්න පහසු වුණා. අපි පවුලක් වගේ වැඩ කළේ. කුමාර අයියගෙයි සරත් අයියගෙයි කුලුඳුල් අධ්‍යක්‍ෂණයට මාව රංගනයට එකතු කරගත්තට මම ස්තූතිවන්ත වෙනවා.

මාෂිට කවදා හරි සිනමා රංගනයට එන්න හීනයක් තිබ්බද?
රංගනයට එන්න ඕනේ කියලා අදහසක් මට තිබ්බේ නැහැ. මම පොඩි කාලේ ඉඳන් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. පුබුදු අයියයි මමයි එකම නිවාස සංකිර්ණයේ හිටියේ. අම්මත් එක්ක යද්දී මාව දැකලා එයා කිව්වා ‘මාව ෆිල්ම් එකකට ගන්න හොඳයි කියලා. එදා එහෙම කිව්වට යාළු වෙලා ඉන්න කාලේ ඒ සම්බන්ධයෙන් එයාගේ කැමැත්තක් තිබ්බේ නැහැ. ඒත් විවාහ වුණාට පස්සේ එයා කිව්වේ ඔයාගේ දක්‍ෂතාවක් තියෙනවා. ඒ නිසා රංගනයට සම්බන්ධ වුණාට කමක් නෑ කියලා එයා මට නිදහස දුන්නා.

සිනමාවේ විතරක් රැඳෙන්නද මාෂිට අවශ්‍ය?
මම සිනමාවේ රැඳෙන්න කැමැති.

සිනමාව විතරක් තෝරා ගන්නේ ඇයි?
මම සිනමාවට ගොඩක් කැමැතියි. මට ටෙලි නාට්‍යවලටත් ගොඩක් ආරාධනා ලැබුණා. ඒත් මම ඒවට සම්බන්ධ වුණේ නැහැ. සමහරු අයියා මාව ඒවට යවන්නේ නෑ කියලා හිතලා තරහත් වෙනවා. පුංචි තිරයේ නිදහස අඩුයි. මට ඕනෙ මතක හිටින්න සිනමාවේ දෙයක් කරන්න. අපි දෙන්නම කාර්ය බහුල වෙන්න බැහැ. අපි දෙන්නා තරගයට වගේ වැඩ කරලා වැඩක් නැහැ. එහෙම වැඩ කළොත් දෙන්නට ෂූටින්වලට දෙපැත්තට මාරු වෙවී ඉන්න වෙන්නේ.

මාෂියි පුබුදුයි විවාහ වෙලා දැන් වසර දෙකකට වැඩියි. විවාහ වෙලා කල් යද්දී එකිනෙකාගේ ආදරය අඩු වෙනවා කියලා සමහරු කියනවා. පුබුදුගේ ආදරය මාෂිට අඩුවක් නැතිව තාමත් දැනෙනවද?
මට දැනෙන විදිහට විවාහ ජීවිතයට එළඹුණාට පස්සේ ආදරය වැඩි වෙනවා. අපි දෙන්නට දෙන්නා ගොඩක් ළං වෙන්නේ විවාහයෙන් පස්සෙනේ. මට නම් අපි දෙන්නා ගිය සතියේ විවාහ වුණා වගේ කියලා තමයි දැනෙන්නේ. අපි දෙන්නගේ ආදරය තවත් වැඩි වෙලා. හදවත්වලින් බැඳුණාම හදවත් වෙනස් වෙන්නේ නැහැ. බාහිර සාධකවලට බැඳුණොත් තමයි ඒ දේවල් වෙනස් වෙන්නේ.

පුබුදු කාර්යබහුල වුණත් මාෂි වෙනුවෙන් කාලය වෙන් කරනවද?
අනිවාර්යයෙන්ම, වැඩ කරලා ඉඩ ලැබුණු ගමන් අපි කරන්නේ කොහේ හරි යන එක. අපි දෙන්නට දෙන්නා හැමදේටම සහයෝගයෙන් ඉන්නේ. පුබුදු අයියට රහට උයන්න පුළුවන්. එයා අල්ලන ඕනම කෑමක් රහයි. ඉතින් එයා මට කැමැත්තෙන්ම උදවු කරනවා. කොරෝනා කාලේ එක එක කෑම වැඩිපුර කාපු නිසා මේ දවස්වල සැලඩ්වලට බැහැලා ඉන්නේ. එකිනෙකාට සහයෝගයෙන් වැඩ කරද්දී ජීවිතය හරි ලස්සනයි.

පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගන්න දැන්ම අදහසක් නැද්ද?
ඒකට තව ටික කාලයක් ඕන වෙයි. තව කෙනෙක් ජීවිතයට එකතු කරගන්න එක ආවට ගියාට කරන්න බැහැ. අපි කෙනෙක්ව ජීවිතයට ගේන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකද එයා ආපු කාලෙක එයාට දුක් විඳින්න දෙන්න බෑනේ. ඒ නිසා තව ටිකක් කල් අරගෙන සූදානම් වෙලා තමයි බබෙක් එකතු කරගන්න හිතන්නේ. අපේ අම්මිලත් ඉතින් ඒ ප්‍රශ්නය අහනවා. හැමදේම වෙන්න කාලයක් තියෙනවා. ඉතින් මේ ටිකේ මං වැඩ ටිකකුත් කරලා ඊට පස්සේ ජීවිතයට තව කෙනෙක් එකතු කරගන්න එක ගැන හිතනවා.

අලුත් ආරාධනා ලැබුණද?
ඔව්. චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. කොරෝනා ප්‍රශ්නය නිසා ඒ නිර්මාණවල රූගත කිරීම් කල් ගියා. ඒ කටයුතු ඉදිරියේදී ආරම්භ කරයි.

මාෂි උපාධියත් සම්පූර්ණ කළානේ. ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න අදහසක් නැද්ද?
ඒ අදහස තියෙන නිසා මම ඔන්ලයින් ෂොප් එකක් පටන් ගත්තා මාෂි කැෆේ කියලා. ඉතාලියන් ආහාර තමයි එහි තිබෙන්නේ. කොරෝනා කාලේ මගේ කෑම සෑදීමේ හැකියාවත් දියුණු වුණා. ඉතින් සූපවේදියෙකුත් සම්බන්ධ කරගෙන ඔන්ලයින් ෂොප් එකක් විදිහට මුලින්ම මෙය කරගෙන යනවා.

රංගන ජීවිතය ඇතුළේ සැමියා වගේ සම්මානනීය වෙන්න මාෂිටත් බලාපොරොත්තු තියෙනවද?
මම තව වැඩ කරන්න ඕනේ. හැම දේම එක පාර ලැබෙන්නේ නැහැ. අපි නිර්මාණයක් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිර්මාණ එළියට ආවම ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙද්දී ඒ මහන්සිය කොහෙන් යනවද කියලා දැනෙන්නේ නැහැ. මේ චිත්‍රපටය කරද්දිත් මට ප්‍රතිචාර කොහොම ලැබෙයිද කියලා චකිතයක් තිබුණේ. ලැබෙන ප්‍රතිචාර එක්තරා විදිහක සම්මානයක්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම - හදගැස්ම

Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 947 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,070 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top